Connect with us

පුවත්

චන්දිමට අලුත් තනතුරයක්

Published

on

ශ්‍රී ලංකා – එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම වීරක්කොඩි මහතා පසුගිය 08දා පත් වී තිබේ.

ශ්‍රී ලංකා – එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. 

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.‍

මෙහිදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.එම්. මුෂාරෆ් සහ ගරු අශෝක් අබේසිංහ යන මහත්ම මහත්මීන් මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත් වූ අතර, මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මහතා ලේකම්වරයා ලෙසත්, මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සහකාර ලේකම්වරයා ලෙසත්, මන්ත්‍රී සාගර කාරියවසම් මහතා භාණ්ඩාගාරික ලෙසත් පත් කෙරිණි. 

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දශක හතක කාලයක සිට පවතින ද්වීපාර්ශ්වික සබඳතා තුළින් මෙරටට ලබා දුන් සියලු සහයෝගයන් සඳහා ස්තුතිය පළ කරන බවයි. එසේම ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා සම්මන්ත්‍රණ, වැඩමුළු සහ අධ්‍යයනචාරිකා මගින් අවස්ථාවන් ලබාදීම සම්බන්ධව කෘතවේදී වන බවද සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වොන්ස්ටෝල් මහත්මිය ප්‍රකාශ කළේ, ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බහුපාර්ශ්වික සංවිධාන හරහා එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳ සතුටු වන බවයි. එසේම, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනෙකුත් ණය දෙන්නන් සහ ශ්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. 

රැස්වීමේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා – එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සංගමයේ සභාපතිවරයා ලෙස තමන්ව තෝරා පත් කර ගැනීම පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. තවද මේ හරහා එක්සත් රාජධානි සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ වර්ධනය කිරීමට කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බව ද  ඒ මහතා ප්‍රකාශ කළේය.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved