චිකුන්ගුන්‍යා බෝවන රෝග ගණයට අයත් නොවන නිසා එම රෝගය පැතිර යන ප්‍රදේශ හඳුනා ගැනීමට සහ නිවාරණ කටයුතු සිදු කිරීමට බාධාවක් වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවක දී ය.
සභාපතිවරයා මෙසේ ද කීවේය.
චිකුන්ගුන්‍යා රෝගීන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන බවට අවිධිමත් තොරතුරු තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කීපයක අධික ලෙස රෝගීන් වාර්තා වන බව අපිට නිරීක්ෂණය වෙලා තිෙයනවා. නමුත් චිකුන්ගුන්‍යා කියන්නේ නීරෝධායන ආඥා පනත යටතේ බෝ වන රෝගයක් ලෙස දැනුම් දිය යුතු රෝගයක් නෙමෙයි. කිසියම් බෝ වන රෝගයකින් පෙළෙන රෝගියකු තමන් වෙත පැමිණියහොත් එම අය නිවාරණ අංශ වෙත යොමු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළ යුතුයි. නමුත් චිකුන්ගුන්‍යා රෝගීන් සම්බන්ධයෙන් එවන් ක්‍රියාදාමයක් මේ වන තුරු සිදු වෙලා නෑ. ඒ නිසා තමයි නිවාරණ අංශවලට චිකුන්ගුන්‍යා රෝගය පැතිර යාම සම්බන්ධයෙන් නිසි තොරතුරු ලබා ගැනීමට නොහැකි වී තිබෙන්නේ.
කෙසේ වෙතත් මීට දින කීපයකට පෙර වසංගත රෝග විද්‍යා අංශය රෝහල්වලට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා ප්‍රතිකාර සඳහා පැමිණෙන යම් අයකු චිකුන්ගුන්‍යා රෝගියකු ලෙස හඳුනා ගත්තොත් ඒ සම්බන්ධයෙන් නිවාරණ අංශය දැනුවත් කරන ලෙස. නමුත් තවමත් විධීමත් ලෙස තොරතුරු නොලැබීම නිසා කුමන ප්‍රදේශවල චිකුන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙන බවද යන්න සම්බන්ධයෙන් නිගමනයකට එළැඹීමට අපට නොහැකි වී තිබෙනවා.
ඒ කෙසේ වෙතත් විධිමත් ක්‍රමවේදයක් නොමැති වුවත් ඩෙංගු මදුරුවන් පාලනය කිරීම සඳහා භාවිත කරමින් නිවාස පරීක්ෂා කිරීම් සහ මදුරු ඝනත්වය අවම කිරීම සඳහා අවශ්‍ය කටයුතු බිම් මට්ටමේ සෞඛ්‍ය නිලධාරීන් මේ වන විට සිදු කරමින් සිටිනවා.
(අරුණ)