මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන උපකාරක පන්ති ගුරුවරියක් පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීමේ වීඩියෝව පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුවන්ට ශිෂ්‍යත්ව ටියුෂන් පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නම් තැනැත්තිය පොලිස් යතුරුපැදි සහ පොලිස් මෝටර් රථ සමග ගමන් කිරීම දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය.
ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු ප්‍රධාන පෙලේ ප්‍රභූන්ගේ පවා ආරක්ෂාව අඩුකර මහජන ධනය ඉතුරු කළ බව කියන ආණ්ඩුව ටියුෂන් පන්ති ගුරුවරයෙකුට මේ ආකාරයේ විශේෂ පොලිස් ප්‍රභූ ආරක්ෂකයන් ලබාදුන්නේ මුදලටද ? නැතිනම් නොමිලේ ද ? කුමන පදනමකින් මේ විශේෂ පොලිස් ආරක්ෂකයන් ලබාදුන්නේ ද ? යන ප්‍රශ්න සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මෙම වීඩියෝව වෙත ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින්ද මතුකරන ලදී.
හයේෂිකා ප්‍රනාන්දු විසින් පසුගියදා කොළඹ BMICH හී දී ඇගේ ටියුෂන් පන්ති පැමිණ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් දරුවන් වෙනුවෙන් ‘ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උළෙල’ නමින් සම්මාන පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා ඇය පැමිණී මෝටර් රථය වෙනුවෙන් ශ්‍රීලංකා පොලිසියේ මෝටර් බයිසිකල් 4ක් සහ තවත් පරිවාරක මෝටර් රථයක් මඟින් විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබිණ.
මෙම ගුරුවරිය විසින් තමන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මෙම පොලිස් සම්පත් භාවිත කර තිබෙන බවට අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කලේ මේ පිළිබඳව මේ වනවිට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවය.