පුවත්

චීනයෙන් දුන් මිලියන අසූවේ තෑග්ග, ලංකාවට භාරදෙයි

Published

on

චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී සංකීර්ණය ඊයේ (25)  නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දී තිබේ.

මේ සඳහා අදාල නිල ලිපි හුවමාරු කරගැනීම චීන තානාපති  චී ජන්හොං (Qi Zhenhong) මහතා හා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර, එම රෝහල් සංකීර්ණයේදී සිදුවිය.
මෙයට සමගාමීව ඉකුත් වසර තුළ චීන රජය මගින් මෙරටට ප්‍රදානය කෙරුණු ඖෂධ හා වෛද්‍ය උපකරණ සම්බන්ධ ලිපි ගොනු හුවමාරු කර ගැනීමද මෙහිදී සිදුවිය.

කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මෙම නව බාහිර රෝගී සංකීර්ණය, ලංකාවේ සිදුකෙරුනු විශාලතම චයිනා ඒඩ් ව්‍යාපෘතිය ලෙස සැලකෙන අතර, මෙම ගොඩනැගිලි සංකීර්ණය සඳහා ඩොලර් මිලියන 80ක මුදලක් වැයකර තිබේ.

මෙම 08 මහල් ගොඩනැගිලි සංකීර්ණය වර්ග මීටර් 50,000ක පමණ බිම් ප්‍රමාණයක ඉදිකර ඇතැයි චීන තානාපති කාර්යාලය පවසයි.

මෙම නව බාහිර රෝගී සංකීර්ණය හේතුවෙන් ජාතික රෝහලට දිනකට ප්‍රතිකාර ලබාදිය හැකි රෝගීන් ප්‍රමාණය 6,000 දක්වා වැඩිවනු ඇත.

මෙහි බිම් මහලේ රෝගීන් ලියාපදිංචි කිරීම, ඖෂධාගාරය, හදිසි අනතුරු අංශය, බාහිර රෝගී අංශය, විකිරණ විද්‍යා ඒකකය සහ පොදු ආපනශාලාව වේ. දෙවන මහලේ ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය, අල්ට්‍රාසොනොග්‍රෆි ඒකකය,පිළිකා ඒකකය හා බහුවිධ පරීක්ෂණ මධ්‍යස්ථානය වන අතර තෙවන  මහලේ බාහිර රෝගී සැත්කම්, ස්නායු ශල්‍ය සායනය, බාහිර ශල්‍ය සායනය, රසායනාගාර මධ්‍යස්ථාන ඇතුළත් වේ.

Trending

Exit mobile version