Connect with us

පුවත්

ඡන්දයට විදෙස් නිරීක්ෂකයින් නෑ; ට්‍රම්ප් නිසා දේශීය නිරීක්ෂකයින්ටත් මුදල් ප්‍රශ්න

Published

on

පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙවර විදෙස් නිරීක්ෂකයන් සහභාගි නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටී. 

පළාත් පාලන මැතිවරණය ජාත්‍යන්තර වශයෙන් වැදගත් මැතිවරණයක් ලෙස නොසැලකීම හේතුවෙන් විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් නොපැමිණෙන බව ද ඔහු පවසයි.

එසේම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් USAID ආයතනයේ කටයුතු අත්හිටුවීමට පියවර ගැනීම නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතුවලදී දේශීය මැතිවරණ නිරීක්ෂණ ආයතන රැසක් මූල්‍යමය වශයෙන් අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇතැයි ද පැවසේ.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන, මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල විවිධ ව්‍යාපෘති සඳහා USAID අරමුදල් ලබාදීම සිදුකෙරුණි. 

එම අරමුදල් යටතේ මෙරට තුළ ආයතන 23 ක් පමණ ක්‍රියාත්මක විය. ඉන් 10 කට මැතිවරණ කටයුතුවලට අදාළව ආධාර මුදල් සැපයීම සිදු කෙරිණි. 

ආබාධ සහිත ජනතාවගේ මැතිවරණ අයිතීන් ආරක්ෂා කිරීම, කාන්තා දේශපාලන ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මැතිවරණ ක්‍රියාදාමයට අදාළව අරමුදල් සැපයීමට එම ආයතන විසින් කටයුතු කරන ලදී. 

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනවරටත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු USAID ආයතනයට අරමුදල් සැපයීම අත්හිටුවීමට කටයුතු කරනු ලැබුවේ එහි මූල්‍ය විනිවිදභාවය සම්බන්ධයෙන් පැවති ගැටලු හේතුවෙනි.

කෙසේ නමුත් මෙම තත්ත්වය මෙවර පළාත් පාලන මැතිවරණයේදී මෙරට මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. 

ඇතැම් නිරීක්ෂණ සංවිධානවල කටයුතු මන්දගාමී තත්ත්වයට පත්ව ඇත. 

පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නිරීක්ෂකයන් යෙදවීම සීමා කිරීමට ඇතැම් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කටයුතු කර තිබේ. 

මේ නිසා ස්වෙච්ඡා මැතිවරණ නිරීක්ෂකයන්ගේ සහයෝගය මත මැතිවරණ නිරීක්ෂණ කටයුතු කිරීමට ඇතැම් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පියවර ගෙන ඇත.

මෙම මූල්‍ය අර්බුද තත්ත්වය හේතුවෙන් මැතිවරණයට අදාළ වාර්තා සකස් කිරීම පවා බොහෝ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට ගැටලුවක් බවට පත්ව ඇතැයි ද අනාවරණය වේ.

USAID සංවිධානයේ කටයුතු අඩාළවීම හේතුවෙන් මෙවර මූල්‍යමය ගැටලුව බරපතළ ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට බලපා තිබෙන බව  PAFFREL (පැෆරල්) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටී. 

USAID කටයුතු අඩාළවීම මත NDI,IRI ආදී මැතිවරණ කටයුතුවලට මුදල් සපයන ලද ආයතන රැසක් වසා දැමීමට පසුගිය කාලයේදී කටයුතු කෙරුණු බවද ඔහු කීවේය.

කෙසේ නමුත්, පැෆරල් සංවිධානය මුදල් කළමනාකරණය කරගනිමින් කටයුතු කරගෙන යන බවත්, මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පැෆරල් සංවිධානය විසින් මැතිවරණ නිරීක්ෂකයන් 3,000 ක් සහ ජංගම නිරීක්ෂණ කටයුතු සඳහා වාහන 200 ක් යොදවා තිබෙන බවත් ඔහු පැවසීය. 

පැෆරල් සංවිධානය ආරම්භ කරනු ලැබුවේ ආධාර මත නොවන බවත්, 80 දශකයේදී තම තමන්ගේ මුදල් යොදවා එහි කටයුතු පවත්වාගෙන ගිය බවද ඔහු පැවසීය.

මේ වනවිට මැතිවරණ නිදහස් හා සාධාරණ පරාසයකට ගෙනැවිත් තිබෙන බවත්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ආදිය මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත්, අනාගතයේදී මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වල අවශ්‍යතාවක් මතු නොවීමේ හැකියාවක් පවතිනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක කියා සිටියේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ලැබෙන අරමුදල්වල විශාල අඩුවීමක් තිබෙන බවය. 

මේ නිසා මැතිවරණයට අදාළව වාර්තා සැකසීම ප්‍රමාණාත්මක සහ සංඛ්‍යාත්මකව අඩුවී ඇතැයි ද ඔහු කියා සිටියේය.

අරමුදල් සම්බන්ධයෙන් පවතින අර්බුදය හේතුවෙන් ස්වෙච්ඡාවෙන් මැතිවරණ නිරීක්ෂකයන් යෙදවීමට සිදුවී ඇතැයි ද ඔහු පැවසීය. 

කෙසේ නමුත් USAID ආධාර නොලැබීම වෙස්වලාගත් ආශිර්වාදයක් බවත්, මැතිවරණ නිරීක්ෂණ කටයුතු මුල් කාලයේදී ආරම්භ වූයේ ස්වෙච්ඡා පදනමින් වූවත්, පසුකාලීනව එය මුදල් මත පිහිනන කාර්යයක් බවට පරිවර්තනය වූ බව ද මංජුල ගජනායක කීවේය.

මේ වනවිට යළිත් වරක් මැතිවරණ නිරීක්ෂණ කටයුතු අතීතයේදී මෙන් ස්වෙච්ඡා පදනමින් සිදුකිරීමට බොහෝ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අත්හදා බලමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු සඳහා දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හතක් ඉල්ලුම් කළ බවත්, ඉන් සංවිධාන දෙකකට ඡන්ද මධ්‍යස්ථාන තුළ නිරීක්ෂණ කටයුතු සඳහා අවසරය ලබාදුන් බවත්, අනෙකුත් නිරීක්ෂණ සංවිධානවලට ඡන්ද මධ්‍යස්ථානවලින් පිටත හා ජංගම නිරීක්ෂණ කටයුතුවලට අවසරය ලබාදී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැවසුවේය.

ඉකුත් ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණවල දී යුරෝපා සංගමය ඇතුළු විවිධ විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් මෙරට මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත විය. 

ඇතැම් විදෙස් නිරීක්ෂණ සංවිධාන පැමිණියේ මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනය මතය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

සූර්ය බලශත්තියට කරන ගෙවීම් ගැන නිවේදනයක්

Published

on

By

බැටරිය සහිත වහළ මත සවිකරන සුර්ය කෝෂ පද්ධති සදහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සදහන් කළේ, ඒකකයක් සඳහා රුපියල් 45 යි සත 80 ක මුදලක් ගෙවීමට තීරණය කර ඇති බවයි.

බැටරිය සහිත නව සබඳතා සදහා පමණක් එම ගාස්තු වැඩිකිරීම සිදුකෙරෙන බව ඔහු සදහන් කළේ ය.

වහළ මත සවි කර ඇති සුර්ය කෝෂ සදහා ඒකකයක් වෙනුවෙන් මීට පෙර කළ ගෙවීම රුපියල් 27 කි.

නව තීරණය කඩිනමින් ක්‍රියාවට නැංවීමට නියමිත බවද ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පැවසුවේය.

(News1st)

Continue Reading

පුවත්

ව්‍යාජ සමාජ මාධ්‍ය වාර්තා ගැන යුද හමුදාවෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන අසත්‍ය කරුණු පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසිනි නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ යුද්ධ හමුදාව මගින් කූඨ ලියකියවිලි සාදා සේනාධිනායක වන ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව වංචාකාරී ලෙස නිලධාරීන් කිහිපදෙනෙකු යුද්ධ හමුදාවෙන් ඉවත්කර ඇති බවත්, තවත් නිලධාරීන් ගණනාවක් පෞද්ගලික කෝන්තර මත යුද්ධ හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටිනා බවත් සමාජ මාධ්‍ය කිහිපයක පසුගියදා ප්‍රකාශ කර තිබුණු බවයි.

මෙසේ කර ඇති ප්‍රකාශයන් තුලින් ගම්‍ය වන්නේ ඔවුන් හට යුද්ධ හමුදාවේ පරිපාලන කටයුතු සබැඳිව නිසි අවබෝධයක් නොමැති බවත්, විවිධ පාර්ශව විසින් තමන්ගේ පටු අරමුණු ඉෂ්ඨ කරගැනීම සඳහා ඔවුන් වෙත ලබාදී ඇති තොරතුරු වගකීම් විරහිතව සමාජගත කරමින් සිටිනා බව යැයි හමුදාව පවසයි.

කෙසේ නමුදු ආරක්ෂක කරුණු හේතුවෙන් යුද්ධ හමුදාවේ සිදුවන සෑම කටයුත්තක්ම සමාජයට අනාවරණය කල නොහැකි නමුදු මෙම මතුකර ඇති කරුණ හේතුවෙන් යුද්ධ හමුදාව පෞද්ගලික න්‍යායපත්‍රයන් හා පලිගැනීම් මත ක්‍රියාකරන ආයතනයක් බවට මහජනතාව තුල වැරදි සිතුවිලි ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ඒ පිලිබඳව පමණක් කරුණු ප්‍රකාශ කිරීමට අදහස් කරන බව ද හමුදාව පවසා තිබේ.

Continue Reading

ඡායාරූප සටහන

උතුරේ උ/පෙළ විශිෂ්ටයන් ඇගයේ (ඡායා)

Published

on

By

පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන්  ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල විසින් ආරම්භ කර තිබෙන අතර, ඒ අනුව උතුරු පළාතේ 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් ඇගයීම අද (22) පෙරවරුවේ ඉරණමඩු නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදී යාපනය, කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේදී, එක් එක් විෂය ධාරාවලින් ඉහළ ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු වශයෙන්,  දිස්ත්‍රික්කයකින් 60 දෙනෙකු බැගින් තෝරා ගෙන සිසුන් 300 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දිරි දීමනාවක් පිරිනැමීම සිදු කෙරිණි. මේ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් මිලියන 30කි.  ඉදිරියේදී මෙම වැඩසටහන සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ නව රජය බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විධිමත් කරමින් එහි සේවා පුළුල් කිරීමටත්, විනිවිදභාවය ඇති කිරීමටත් කටයුතු කර තිබෙන බවයි. අතීත භාවිතයන් තුළ තිබු වැරදි, නිවැරදි කරමින් අද සැබෑ ලෙසම එහි ප්‍රතිලාභ ලැබිය යුතු පිරිස් වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ජනාධිපති අරමුදලේ සේවා වඩා කාර්යක්ෂම කිරීම සඳහා එය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම ප්‍රාදේශීය වශයෙන් විමධ්‍යගත කිරීමටද මේ වන විට කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

දරුවන්ට ජීවිතය ජය ගැනීමට තිබෙන ප්‍රධානතම මෙවලම අධ්‍යාපනය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, දරුවන් වෙත හිමි වන මෙම ප්‍රතිලාභය නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන අධ්‍යාපනයේ විශිෂ්ටයන් ලෙස මෙන්ම යහපත් පුරවැසියන් ලෙස  ජීවිතය ජය ගෙන, රටත්, ජාතියත් ජයග්‍රහණය කරවීමට දරුවන් කටයුතු කළයුතු බව වැඩිදුරටත් සඳහන් කළේය.

කතානායක ජගත් වික්‍රමරත්න, ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරුද මෙම උත්සව සභාව ඇමතූහ.

මෙහි ස්තූති කතාව, යාපනය  හින්දු විද්‍යාලයේ අභිෂේක් සිසුවා විසින් සිදු කළ අතර, මෙම වැඩපිළිවෙළ ආර්ථික අපහසුතා ඇති සිසුන්ට උසස් අධ්‍යාපනය සාර්ථක කර ගනිමින් ජීවිතය ජය ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවක් බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාටත්, ජනාධිපති අරමුදලටත් බෙහෙවින් ස්තූතිවන්ත වන බවත් සඳහන් කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන්, සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කේ. ඉලංකුමරන්, රජීවන් ජෙයචන්ද්‍රමූර්ති, එම්. ජගදීස්වරන් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්‍රධානින්, දෙමාපියන් සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved