Connect with us

පුවත්

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම විප්ලවීය පියවරක් – ජනපති

Published

on

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ දී අද (04) පෙරවරුවේ එක් වෙමිනි.

රටේ ගොඩනැඟෙන ආර්ථිකයේ ප්‍රතිලාභ එක් කොටසකට හිමිවන විට තවත් කොටසකට දුක් විඳීමට ඉඩ තැබිය නොහැකි බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ විප්ලවීය වැඩසටහන ආරම්භ කළේ අඩු ආදායම් ලාභී ජනතාව නගාසිටුවීමට බවද සඳහන් කළේය.

මෙම ඉඩම් අයිතිය සමඟ රජයේ කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ එක්වෙමින් තම ආර්ථිකය ගොඩනගා ගැනීමට ජනතාව කටයුතු කළයුතු බව පැවසූ ජනාධිපතිවරයා පොළොන්නරුව මෙරට ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමේ හැකියාවද පෙන්වා දුන්නේය.

සියලු දෙනා එපා කී ආණ්ඩුවක් භාරගෙන එක් කණ්ඩායමක් සමඟ පමණක් එක්ව ඉතා කෙටි කලකින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට තමාට හැකි වූ බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ඉදිරි වසර දෙක, තුන තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කර තරුණ පරපුරට හොද අනාගතයක් නිර්මාණය කර දීමට එක්වන්නැයි ද සියලු පාර්ශ්වවලට ආරාධනා කළේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් සින්නක්කර ඔප්පු 204,002 සකස් කිරීමට සැලසුම් කර ඇති අතර මේ වන විට සියලුම කලාප මට්ටමින් සින්නක්කර ඔප්පු සකස් කරමින් පවතී. ඒ අනුව මැයි මාසය අවසන්වන විට සින්නක්කර ඔප්පු 20,178 මහවැලි ජනපදිකයන් වෙත බෙදා දීමට සැලසුම් කර තිබේ.

එහි සමාරම්භය සනිටුහන් කරමින් සින්නක්කර ඔප්පු 1340ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි, මැදිරිගිරිය මොරගහගකන්ද යන මහවැලි කලාපවල ජනපදිකයන් වෙත බෙදා දීම මෙහිදී සිදු විය.

ඉඩම් ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30 දෙනෙකු වෙත ඉඩම් ඔප්පු ලබාදීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

අද මේ ශාලාවේ සිටින ඔබ මෙම ස්ථානයට පිවිසියේ බලපත්‍රලාභීන් ලෙසයි. නමුත් ඔබ මෙතැනින් පිටව යන්නේ ඉඩම් හිමියන් ලෙස බව මම සිහිපත් කිරීමට කැමතියි. ඔබේ ඉඩමට අද සින්නක්කර අයිතිය ලැබෙනවා. අපේ සමාජයේ ඉඩම් හිමිකම ගෞරවයක් ලෙසයි සළකනු ලබන්නේ. ඉඩමට තිබෙන වටිනාකම අපට තිබෙන පිළිගැනීම බවට පත්ව තිබෙනවා.

අද මේ රටේ විශාල පිරිසකට පරම්පරා ගණනක සිට ජීවත්වුවත් එම ඉඩමේ නීත්‍යානුකූල අයිතිය හිමිව නැහැ. උරුමය වැඩසටහන හරහා සිදුවන්නේ එම ඉඩම් අයිතිය සින්නක්කර ඉඩම් ඔප්පුවකින් ජනතාවට ලබා දීමයි. මින් පසුව ඔබ කිසිවෙකුට යටත් විය යුතු නැහැ. ඔබට ලැබෙන නීත්‍යානුකූල ඉඩම් අයිතිය කිසිවෙකුට අහෝසි කිරීමේ හැකියාවක් නැහැ.

අපි සියලුදෙනා පසුගිය වසර තුනේදී ඉතා දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. රටේ ආර්ථිකය වගේම අපේ ආර්ථිකයත් කඩා වැටුණා. අත මිට මුදල් හිඟ වුණා. සියලුදෙනා අසීරුවෙන් ජීවත් වුණේ. දැන් එම ආර්ථික ගැටලු අප ටිකෙන් ටික විසඳාගෙන යනවා. අප තව වසර දෙක තුනක් මේ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි.

රජයේ සේවකයන්ට රැපියල් දස දහසක් වැටුප් වැඩිවීමක් ලබාදීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා. පුදිගලික අංශයේත් බොහෝ ආයතනවල වැටුප් වැඩි කිරීම් සිදු කළා. ඒ වගේම වතුකරයේත් වැටුප් වැඩි කිරීමට අප දැන් නියෝග කර තිබෙනවා.

පසුගිය ආර්ථික දුෂ්කරතාවන් හමුවේ රටේ දිළිදු කණ්ඩායම වර්ධනය වුණා. ඒ වෙනුවෙන් අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ සඳහා ලෝක බැංකුවේ සහාය හිමි වු අතර ඒ අනුව සමෘද්ධි දීමනාව මෙන් තුන් ගුණයක් වැඩි කර අස්වැසුම ප්‍රතිලාභ ජනතාවට ලබා දිමට අපට හැකි වුණා. ඒ වගේම ප්‍රතිලාභීන් ප්‍රමණය ලක්ෂ 18 සිට ලක්ෂ 24 දක්වා වැඩි කිරීමට කටයුතු කළා.

තවද, අඩු ආදායම්ලාභී ජනතාව සඳහා සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ මාස දෙකක් සහල් කිලෝ 10 බැගින් ලබාදීමට කටයුතු කළා.

මේ සියල්ල සමඟ රටේ ආර්ථිකය ක්‍රමයෙන් ගොඩ එන විට එහි ප්‍රතිලාභය එක කොටසකට හිමි වන්නයි, අනෙක් කොටසට නොලැබී යාමටයි ඉඩ තබන්න බැහැ. ඒ නිසා දැනට රජයේ ඉඩම්වල සිටින සියලුදෙනාට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට අප කටයුතු කර තිබෙනවා.

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් මෙම පියවර විප්ලවකාරී පියවරක් බව කිවයුතුයි. ලෝකයේ වෙනත් රටවල මෙලෙස ඉඩම් අයිතිය ජනතාවට ලබාදී නැහැ. එසේනම් අප සිදු කර තිබෙන්නේ විශාල විප්ලවයක්. කෘෂිකර්මාන්තය සඳහා පමණක් නොව නිවාස සඳහා ද ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා. ඒ වගේම මහල් නිවාසවල සිටින අයට එම නිවාසවල අයිතිය ලබාදී තිබෙනවා. ඒ නිසා මෙම වැඩපිළිවෙළ ලෝකයේ තිබෙන විප්ලවකාරී පියවරක් ලෙස හඳුන්වාදිය හැකියි. ඒ වගේම මෙය මෙරට ජනතාවට ලබා දෙන විමුක්තියක් ලෙස මම සලකනවා.

මෙම ඉඩම් ඔප්පු කඩිනමින් සකස් කිරීම පිළිබඳ අප පසුගියදා කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා. අගමැතිතුමා මේ කටයුතු භාරගෙන තිබෙනවා. ඒ පිළිබඳ සොයා බලා වාර්තා කරන ලෙස මම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල සභාපතිවරුන්ට දැනුම් දෙන්න කැමතියි. මෙම වැඩසටහන ඉදිරි මාස දෙක තුළ කඩිනමින් අවසන් කළයුතුයි. ඉඩම් කොමසාරිස් කාර්යාල, මහවැලි අමාත්‍යාංශය, මිණුම් දෙපාර්තමේන්තුව හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයත්, දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු එක්ව මෙම වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුයි.

ඒ වගේම මෙම ඉඩම් ලබාගත් පසු රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ සමග එක්වීම ඔබේ වගකීම වෙනවා. රටේ කෘෂිකර්මාන්තය නවීකරණ කරමින් තරගකාරී කෘෂි අපනයන ආර්ථිකයක් කරා රට ගෙන යාමට අප සියලුදෙනාට වගකීමක් තිබෙනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ පිළිබඳ සාකච්ඡා කර ලබාදිය හැකි සහාය පිළිබඳ සොයා බැලීමට ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට පැමිණෙනවා. ඒ වගේම මෙම වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බලා ඉදිරි වසර තුන හතර තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට ලබන ජුනි මාසයේ ලෝක බැංකුවේ නියෝජිතයන් මෙහි පැමිණෙනවා.ඒ නිසා මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ සැලසුම් ඉදිරිපත් කළ යුතු නිසා මෙම කටයුතු නීතිගත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙම වැඩපිළිවෙළ සමග එක්වන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා. මෙම පොළොන්නරුව දිස්ත්‍රික්කය ලංකාවේ ප්‍රධාන අපනයන දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. අප මේ වන විටත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඇතැම් අය අහනවා අවුරුදු 76ක් මොනවද කළේ කියලා. වාර්මාර්ග ඉදිකර, විදුලි බලය ලබාදී ජනතාව එහි පදිංචි කර ගොවිතැන් කර රට සහලින් ස්වයංපෝෂිත කිරීමට කටයුතු කළා. නමුත් මේ පළාත්වලට නොලැබී ඇති සංවර්ධනය ලබාදීමේ වගකීම මම භාරගෙන තිබෙනවා. ඒ සඳහා එක්වන ලෙස මම සියලුදෙනාට ආරාධනා කරනවා.

මම කිසි දවසක කියන්නේ නැහැ ආණ්ඩුව බෙදෙන්න ඕන කියලා. අද තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක්. අනිත් අය එපා කියපු ආණ්ඩුවකුයි අපි භාරගත්තේ. සියලුදෙනා මේ ආණ්ඩුව භාර ගැනීමට අකමැති වුණා. නමුත් දැන් අප එක්වෙලා රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙනවා. දැන් අප සියලුදෙනා එකතුවෙලා ඉදිරි වසර දෙක තුන තුළ හොද ආර්ථිකයක් රට තුළ ගොඩනඟා තරුණ පුරපුරට හොද අනාගතයක් නිර්මාණය කර දෙමු කියලා මම ඉල්ලා සිටිනවා.


( ජනාධිපති මාධ්‍ය අංශය )

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved