Connect with us

පුවත්

“ජනතාව අපහසුතාවට පත්‍ නොවන පරිදි විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමට වහාම ක්‍රියාමාර්ග ගන්න”

Published

on

ජනතාව අපහසුතාවට පත්‍ නොවන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා විසින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට පසුගියදා දැනුම් දෙන ලදී.

නව “ආගමන” පනත් කෙටුම්පත සලකා බැලීම සදහා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කැඳවා තිබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ 2023 වසරේ ගමන් බලපත්‍ර දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර තිබුන ද විදේශගතව තිබුනේ ඉන් 23%ක් පමණක් බවත් ඉතිරි 77% විදෙස් ගමන් බලපත්‍ර භාවිතා කර නොමැති බවත්ය. එසේම ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය (E-Passport) ඉදිරි ඔක්තොම්බර් මස අගවන විට හදුන්වාදීමට නියමිත බැවින් ඇතැම් රටවලින් නව ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය ඉල්ලාසිටීමට ඉඩකඩ ඇති බවත් ඒ අනුව අත්‍යවශ්‍ය නොවන පිරිසට ගමන් බලපත්‍ර ලබාගැනීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය .

මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ පිළිබඳව හැකිතාක් ජනතාව දැනුවත් කිරීම සිදුකළ යුතු බවයි. එහෙත් මුදල් ගෙවා ගමන් බලපත්‍ර ලබා ගැනීම ජනතාවගේ අයිතියක් බැවින් ජනතාව අපහසුතාවට පත් නොවන පරිදි ඉල්ලුම් කරන ගමන් බලපත්‍ර නිකුත් කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වගකීමක් බව ද කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය. එසේ නොවුනහොත් දෙපාර්තමේන්තුව මෙන්ම රජය ද ජනතාවගේ දැඩි අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැකි බව ද කාරක සභා සභාපති ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පෙන්වා දුන්නේය.

එසේම ඉන්දියාවේ සහ නේපාලයේ සංචාරය කරන බැතිමතුන්ට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැවති අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පැවසූහ. 

නව “ආගමන” පනත් කෙටුම්පත සලකා බලමින් කාරක සභාව විසින් ඒ පිළිබඳව නිලධාරීන්ගෙන් කරුණු විමසන ලදී. මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් 2024 ජූනි 20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2017 වසරේදී කෙටුම්පත් කිරීම ආරම්භවූ බව ආගමන විගමන පාලක
ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසීය. ආගාමික හා විගාමික හා 1971 අංක 53 දරන විදේශ ගමන් බලපත්‍ර (විධිමත් කිරීමේ) පිටවීමේ අවසර පත්‍ර පනත්, වත්මන් සමාජ හා තාක්ෂණික තත්ත්වයට ගැළපෙන ලෙස සංශෝධනය කරමින් මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත. එසේම මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වී ඊට අදාළ තීරණය පාර්ලිමේන්තුවට නිවේදනය කර ඇති බැවින් ඊට අදාළ සංශෝධන සිදු කිරීම සදහා කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත මෙරට ආගමන විගමන නීතිවල පැවති අඩුලුහුඩුකම් නිවැරදි කිරීම සදහා ප්‍රතිපාදන සපයා ඇති බව ද මෙහිදී අනාවරණය විය. විශේෂයෙන් මෙරට මෙතෙක් නීති නොපැවති මිනිස් අවහරණය (Human Smuggling) සදහා ප්‍රථම වරට මෙම නව පනත් කෙටුම්පත මගින් අවශ්‍ය නෛතික විධිවිධාන සලසා ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා පෙන්වා දුන්නේය. එසේම දෙපාර්තමේන්තුවට නව තාක්ෂණය සමගඉදිරියට යාම සදහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන මෙන්ම මෙරට අනවසරයෙන් රැදී සිටින පුද්ගලයන් සදහා අදාළ වන ප්‍රතිපාදන ඇතුළු නව නීති මෙම නව පනත් කෙටුම්පත මගින් පනවා ඇත. බොහෝ පිරිසකගේ අදහස් යෝජනා සලකා බැලීමෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සකස් කරන ලද බව ඉළුක්පිටිය මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. බොහෝ කාලයක් පමාවූ මෙම පනත් කෙටුම්පත කාලීන වශයෙන් ඉතාම වැදගත් පනතක් බව ද කාරක සභාවේදී සාකච්ඡා විය.

එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය. ඊට අදාළ යෝජනා කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ද කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය. පනත් කෙටුම්පතට අනුමතිය ලබා දෙමින් කාරක සභා සභාපතිවරයා පැවසුවේ මෙම පනත වඩාත් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සදහා නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට කටයුතු කළ යුතු බවයි. ඒ සදහා පවතින බාධා ඉවත් කරගැනීමට අදාළ යෝජනා සති 2ක් තුළ කාරක සභාවට ලබා දෙන ලෙසත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට කාරක සභාව විසින්
දැනුම්දෙන ලදී.

එසේම ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ප්‍රසම්පාදන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවත් ලබන ඔක්තෝබර් අගවන විට ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ලක්ෂ 50 ක් ලැබීමට නියමිත බවත් මෙහිදී ආගමන විගමන පාලක ජනරාල්වරයා සදහන් කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්ත‍මේන්තුව යන ආයතන නියෝජනය කරමින් නිලධාරීහු ද මෙම රැස්වීමට එක්ව සිටියහ. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනෙවිරත්න, උදයන කිරිදිගොඩ, ගුණතිලක රාජපක්ෂ, ජයන්ත වීරසිංහ, ඉෂාක් රහුමාන්, සුදත් මන්ජුල,  කුමාරසිරි රත්නායක සහ මධුර විතානගේ යන කාරක සභාවේ සාමාජික මෙන්ම සාමාජික නොවන මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

පුවත්

කටාර්හි අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ඉරානයෙන් ප්‍රහාරයක් (UPDATE)

Published

on

By

කටාර් අගනුවර වන දෝහා අසල පිපිරීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදය කටාර් අගනුවර වන දෝහාවල ඇති අමෙරිකානු හමුදා කඳවුර අසල මෙම පිපිරීම් හඩ ඇසුණු බවය.

මේ අතර ඉරානයේ ඉස්ලාමීය ආරක්ෂක බළකාය පවසා ඇත්තේ, කටාර්හි අමෙරිකානු අල් උඩෙයිඩ් ගුවන් කඳවුර ඉලක්ක කර ගනිමින් පලිගැනීමේ මිසයිල ප්‍රහාරයක් දියත් කළ බවය.

තවද ඉරාකයේ අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ගනිමින් මිසයිල මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද ඉරානයේ තස්නීම් ප්‍රවෘත්තී ඒජන්සිය වාර්තා කර තිබේ.

———————

(පෙර පුවත : පස්වරු 10.44 – 2025/06/23 )

කටාර් රාජ්‍ය සිය ගුවන් අවකාශය තාවකාලිකව වසා දමයි

කටාර් රාජ්‍යය තම ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

පවතින යුධමය තත්ත්වය හේතුවෙන්  මෙම තීරණය ගත් බව  එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඒ අනුව කටාර් හි හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පියාසර කිරීමට නියමිත සියලු ගුවන් යානා ඒ ආසන්න වෙනත් ගුවන්තොටුපොළ වෙත පියාසර කෙරෙනු ඇත.

මේ අතර කටාර්හි පිහිටා ඇති මැදපෙරදිග විශාලතම අමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුර වෙත ඉරාන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ, එම කඳවුර තුළ අමෙරිකානු පුරවැසියන් 8,000ක් පමණ වාසය කරන බවය.

මේ අතර කටාර්හි සිටින අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර තිබේ.

එම දැනුම්දීම මගින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවල රැඳී සිටින ලෙසය.

Continue Reading

පුවත්

චීනය වගේම දකුණු ආසියාවේ අපත් විවෘත විය යුතුයි – කුසල් (වීඩියෝ)

Published

on

By

 පසුගිය 19 වැනිදා නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී ඇරඹුනු නවවැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය හෙට (24) අවසන් වේ.

“සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව මෙවර එක්වූයේ ‘ගෞරවනීය ආරාධිත රට’ ලෙසයි.

චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම 2024 දී ඇමරිකානු ඩොලර් බිලියන 5.36 ක වාර්තාගත ඉහළම අගයට ළඟා වූ අතර එය වසරින් වසර 13.4% ක වැඩිවීමකි. මේ හේතුවෙන් දකුණු ආසියානු කලාපය තුළ චීනයේ වේගයෙන්ම වර්ධනය වන වෙළඳ හවුල්කරුවා බවටද ශ්‍රී ලංකාව පත්ව ඇත.

චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතින් විවෘත කෙරුණි.

මෙම ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකාව හට හිමිවූ සුවිශේෂී ස්ථානය හා ඉන් ශ්‍රී ලංකාවට ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳව ‘ශ්‍රී ලංකා මිරර්’ වෙනුවෙන් ජ්‍යේෂ්ට මාධ්‍යවේදී හා දේශපාලක විචාරක කුසල් පෙරේරා මහතා හා චීනයේ CGTN රූපවාහිනියේ ලී චියුයුවැන් මහත්මිය අතර කෙටි කතාබහක් පසුගියදා සිදුවිය.

මෙහිදී පෙරේරා මහතා පවසා තිබුණේ මෙම වේදිකාවෙන් ප්‍රයෝජන ගෙන චීනය හා ද්වීපාර්ශ්වික වෙළඳ කටයුතු වර්ධනය කිරීම සඳහා, තේ වැනි සාම්ප්‍රදායික අපනයන නිෂ්පාදන වලින් ඔබ්බට ගොස් අපනයන නිෂ්පාදන විවිධාංගිකරණයට ලක් කළ හැකි ආකාරය පිළිබඳව යළි සිතා බැලිය යුතු බවයි.

මෙම වේදිකාවේ පිළිඹිබු වන බලශක්ති පරිවර්තනය හා ඩිජිටල් ආර්ථිකය වැනි නැගී එන ක්ෂේත්‍ර අතරින් ශ්‍රී ලංකාවට වඩාත්ම වැදගත් වන්නේ තාක්ෂණය, බලශක්තිය හා පරිසරය යන ක්ෂේත්‍ර වල එකතුවක් යැයි තමාට හැඟෙන බවද ඔහු කියා සිටියේය.

එය ශ්‍රී ලංකාවට දිගු ක්‍රියාවලියක් වනු ඇති බව පැවසූ ඔහු, මෙම ක්‍රියාවලියට ඉඩ සැලසෙන පරිදි ලංකාවේ ජාතික ආර්ථිකයද සැලසුම් කළ යුතු බව අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරේරා මහතා පවසා සිටියේ ආරක්ෂණවාදයට පිවිසෙන යුරෝපය මෙන් නොව චීනය විවෘත වෙමින් පවතින බව තමාට හැඟෙන බවයි. 

චීනයේ මෙම ආර්ථික විවෘතභාවය සියලු දකුණු ආසියානු රටවල් වෙත දැවැන්ත අවස්ථාවක් උදා කරන බවත්, චීනය මෙන්ම දකුණු ආසියාවද විවෘත විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“ආරක්ෂණවාදය ආර්ථික වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් වන්නේ නැත. චීනය දැනටමත් විවෘතව පවතින අතර එහි ආර්ථිකය ගෝලීය වෙළඳාම මත වර්ධනය වෙමින් පවතී. ඔවුන් සෑම තැනකම ගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ විවෘතභාවයයි… දකුණු ආසියාවේ අපත් විවෘත විය යුතුයි,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

(වීඩියෝ : CGTN)

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

119 ට කෝල් කරනවා නම්…

Published

on

By

119 හදිසි ඇමතුම් අංකය අවභාවිතා කිරීම වළක්වාගැනීම සඳහා පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, 119 ක්ෂණික දුරකතන ඇමතුම් මධ්‍යස්ථානය වෙත ඇමතුම් ලබාදෙමින් මෙම සේවාව අවභාවිතා කරන අවස්ථාවන් නිරීක්ෂණය වී ඇති බවය.

පොලීසිය පැවසුවේ, වර්ථමානය වනවිට මෙම මධ්‍යස්ථානය වෙත වාර්තා වන ඇමතුම් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලීසිය ක්ෂණිකව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැමිණිලිවලට අමතරව අසත්‍ය පැමිණිලි හා වෙනත් ක්ෂණික සේවාවන් වෙත යොමු කළ යුතු පැමිණිලිද ලැබෙන බවය.

එමෙන්ම වෙනත් සේවාවන් මඟින් එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට හැකියාව පැවතියද (පාරිභෝගික සේවා සම්බන්ධ පැමිණිලි, අල්ලස් සම්බන්ධ පැමිණිලි, රාජ්‍ය ආයතන මඟින් සිදුවන අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි ඉඩම් ආරවුල්, මුදල් ආරවුල් වැනි පොලිසියේ සහාය ක්ෂණිකව අවශ්‍ය නොවන අවස්ථා සම්බන්ධයෙන් වන පැමිණිලි) ඇතැම් පැමිණිලි මෙම හදිසි ඇමතුම් අංකය හරහා බොහෝ විට ඉදිරිපත් කිරීමට මහජනතාව විසින් කටයුතු කරනු ලබන බව පොලීසිය පවසයි.

ඒ අනුව, හදිසි අවස්ථාවකදී පොලිස් 119 ක්ෂණික ඇමතුම් මධ්‍යස්ථානය වෙත සම්බන්ධ වීමට ඇති හැකියාව අවම වන බව පොලීසිය පෙන්වා දෙයි.

මෙලෙස අනවශ්‍ය පැමිණිලි සඳහා කාලය ගත කිරීම තුළින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසියේ සහාය ක්ෂණිකව ලබා දිය යුතු අත්‍යවශය වන හදිසි පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ඇමතුමේ වැඩි කාලයක් රැඳී සිටීමට සිදුවේ.

මෙසේ අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර අදාළ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති අතර මෙම සේවාව අවභාවිතා කර ඇති අවස්ථාවන්හි ඊට අදාළ දුරකතන අංකය මඟින් 119 ක්ෂණික දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට ලැබෙන දුරකතන ඇමතුම් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරනු ලබයි.

එබැවින් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස සේවය ලබාගැනීමට මෙම සේවාව භාවිතා කිරීමේදී නිසි අවබෝධයෙන් යුතුව, පොලිසියේ සහය ක්ෂණිකව ලබාගත යුතු අවස්ථා හඳුනාගනිමින් කටයුතු කරන ලෙසටත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මහජනතාවට මුහුණ දීමට සිදුවන යම් ආපදාවක් හෝ පොලිස් නිලධාරීන්ගේ සහාය ක්ෂණිකව ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී ඒ සඳහා පොලිස් නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් 119 ක්ෂණික දුරකතන ඇමතුම් සේවාව 2004 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved