Connect with us

පුවත්

ජනපතිගෙන් විශේෂ කමිටු 03 ක්

Published

on

ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුවක්, ආර්ථිකයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීමේ කමිටුවක් සහ එම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම සඳහා ඉහළ මට්ටමේ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ කමිටුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර හා  ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතුව පත් කර තිබේ.

එසේම ආර්ථිකයට වන බලපෑම පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් කටයුතු කරති.

මෙම කමිටු දෙකෙහි යෝජනා අධීක්ෂණය කිරීම වෙනුවෙන් පත් කර ඇති ඉහළ මට්ටමේ කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විතය.
අදාළ සිදුවීමත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ මතුවන තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට යම් සෘජු හෝ වක්‍ර බලපෑමක් එල්ල විය හැකි නම් ඊට ගතයුතු පූර්වගාමී පියවර පිළිබඳ සොයා බලා ඉහළ මට්ටමේ කමිටුවට කරුණු වාර්තා කිරීම අනෙකුත් කමිටු දෙකට පැවරේ. 

ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය ලබා ගැනීමේදී යම් බාධාවක් මතුවිය හැකි නම් රටේ මහජනතාවට ඉන් බලපෑමක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම ද ජනාධිපතිවරයා විසින් අදාළ කමිටු දෙක වෙත පවරා ඇත.

එම කමිටු දෙක විසින් අදාළ වාර්තා ඉහළ පෙළේ කමිටුවට ලබා දිය යුතු අතර ඒ අනුව ගතයුතු කඩිනම් තීන්දු තීරණවලට එළැඹීමට  නියමිතය.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved