Connect with us

පුවත්

ජනපති, අගමැති හා විපක්ෂනායකගෙන් වෙසක් පණිවුඩ

Published

on

අද (12) දිනට යෙදෙන සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනයා මහත් උත්කර්ෂයෙන් සමරන සම්බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක දිනය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවිය හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වෙසක් දින පණිවිඩ නිකුත් කර තිබේ. 

බුදුදහමේ ඉගැන්වීම් අනුව සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවෙමු – ජනාධිපති

බුදුන් වහන්සේගේ දේශනාව තුළ ලෝක සාමය උදෙසා මහැඟි පණිවිඩයක් ගෙන දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

වෙසක් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, එම ඉගැන්වීම් ප්‍රායෝගිකව වටහා ගනිමින් මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ අනුව කටයුතු කරමින් යුද ගිනි දැල් නිවුණු සාමකාමී ලෝකයක් වෙනුවෙන් කැපවීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා දැඩිව මතුව තිබෙන බවයි.

ජනපති විසින් නිකුත් කල සම්පූර්ණ වෙසක් පණිවිඩය පහතින් දැක්වේ…

මානව සිත්සතන් සුවපත් කිරීමට වෙසක් කාලය වඩාත් සුදුසුයි – අගමැතිනිය

වෙසක් පුන් පොහෝදා වෙනුවෙන් අගමැතිනිය හරිනි අමරසුරිය ද වෙසක් දින පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම වෙසක් දිනපණිවිඩය මඟින් අගමැතිනිය රට නිවැරදි පරිවර්තනයකට යොමුකරමින් සිටින අවස්ථාවක මානව සිත්සතන් සුවපත් කිරීම සඳහා වෙසක් කාලය වඩාත් සුදුසු බවට විශ්වාස කරන බව පවසයි.

ඒ සඳහා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැදගැනීමට සියලුමදෙනා හට ආරාධනා කරන බවයි සිය වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් ඇය පෙන්වා දී තිබේ.

සිය නිවේදනයෙන් අගමැතිනිය පෙන්වා දෙන්නේ මේ වනවිට ඇතැම් රටවල පවතින යුද ගිනිදැල් නිවී සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත්වීමේ භාග්‍යය උදාවීම මෙරට සමස්ත රටවැසියන්ගේ මෙන්ම තමන්ගේ ද අපේක්ෂාව බවය. 

අගමැතිනිය විසින් නිකුත් කල සම්පූර්ණ වෙසක් පණිවිඩය පහතින් දැක්වේ…

අභියෝග හමුවේ හේතුඵල දහම මැනවින් වටහා ගනිමු – විපක්ෂනායක

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් පොහොය උන්වහන්සේ ලොවට පෙන්වා දුන් උතුම් ධර්ම මාර්ගය යළි යළිත් මෙනෙහි කිරීමට අවස්ථාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙසක් දින පණිවුඩය නිකුත් කරමින් කියා සිටියි.

මේ වෙසක් දිනයේ අපගේ අධිෂ්ඨානය විය යුත්තේ ද ඒ උදාර දැක්ම අනුව ධර්මය ගුරුතන්හි තබා යහපත් ලෝකයක් ගොඩනැඟීමට අපගේ කැපවීමයි. එය වෛරයෙන් තොර මෛත්‍රියෙන් පිරි ලෝකයක මාවත විවර කර දෙනු ඇත බව ද විපක්ෂනායකවරයා සඳහන් කර තිබේ.

විපක්ෂනායකවරයා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ වෙසක් දින පණිවිඩය පහතින් දැක්වේ…

සම්බුදුරජාණන්වහන්සේගේ තෙමඟුල සිහිකරමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පෙළ ගැසෙන මේ වෙසක් සමයේ සමස්ත රටවැසියන් වෙත වෙසක් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි.

ශ්‍රී ලංකාවාසී අපගේ ජන ජීවිතය ඈත අතීතයේ සිටම බුද්ධ දර්ශනය හා බැඳී පවතී. එය බුදු දහමෙන් අපට ලැබුණු දායාදයකි. අප රටේ විවිධ ජාතීන් විවිධ ආගම් අදහමින් සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත් වන අතර සියලුම දෙනා එක්ව වෙසක් උත්සවය වැනි ප්‍රධාන ආගමික උත්සවයක් සැමරීම ඊට හොඳම නිදසුනකි. 

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ අපේ තේමා පාඨය මූලික කරගෙන පිහිටුවාගත් අප රජය යටතේ එළැඹි පළමු වෙසක් උත්සවය මෙයයි. අප දේශය නිවැරදි පරිවර්තනයකට යොමු කරමින් සිටින මෙවන් අවධියක මානව සිත්සතන් සුවපත් කිරීමට ද මෙම වෙසක් කාලය වඩාත් සුදුසු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා සියලුම දෙනා එක්සිත්ව හා එක්සත්ව ඇත්වැල් බැඳගනිමුයි මාගේ වෙසක් පණිවුඩය තුළින් ඔබ සැමට ආරාධනා කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. 

මේ වනවිට ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී  සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි මෙම වෙසක් සමයේ දී සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ මම ප්‍රාර්ථනා කරමි. 

ඔබ සියලු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!  තුනුරුවන් සරණයි.

ආචාර්ය හරිනි අමරසූරිය 
අග්‍රාමාත්‍ය 
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 මැයි 12 දින

අගමැතිනිය විසින් නිකුත් කල සම්පූර්ණ වෙසක් පණිවිඩය

“අප මුහුණදී ඇති අභියෝගවලට විසඳුම් සෙවීමේදී බෞද්ධ දර්ශනයේ පෙන්වාදී ඇති හේතුඵල දහම මැනවින් වටහා ගැනීම අතිශය වැදගත් වේ. අප රටක් වශයෙන් මුහුණදී ඇති ගැටලු හමුවේත් ලෝකය හමුවේ මුහුණදී ඇති ගැටලු හමුවේත් විසඳුම් සෙවීමට උත්සුක දරන්නේ ප්‍රශ්නයක් තුළින් පැනනැඟුණු ඵලයට මිස එම ගැටලුව පැනනැඟුණු හේතුව සොයා බලා එය නැති කිරීමට නොවේ.

යමක් ඇති වන්නේ කෙසේ ද එයට හේතුව සොයාබලා පිළියම් යෙදිය යුතු යැයි උගන්වන උතුම් බුදුදහම අප ප්‍රායෝගිකව හඳුනාගත යුත්තේ එබැවිනි.

ශ්‍රී ලංකාව මෙන්ම මුළුමහත් ලෝකය ම මේ මොහොතේ ආර්ථික යුද්ධයකට මෙන්ම සාමය පිළිබඳ වූ අභියෝගයකට මුහුණ දී ඇත. මෙම අභියෝග දිනන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගය තුළ පැහැදිලි විසඳුම් තිබේ.

රාජ්‍ය පාලනයේදී දස රාජ ධර්මය වැනි උත්තරීතර මඟපෙන්වීම් මෙන්ම ආර්ථිකය, සමගිය, සමානාත්මතාව, විවිධත්වය තුළ එකමුතුව ඇතිකර ගන්නේ කෙසේ ද යන්න බෞද්ධ දර්ශනය තුළ ඕනෑ ම ආගමිකයකුට පිළිගත හැකි ආකාරයට ඉගැන්වීම් දක්නට ලැබේ. භෞතික සංවර්ධනයට සමගාමීව ආධ්‍යාත්මික සංවර්ධනය රටක සංවර්ධනයේ ප්‍රබලතම අවශ්‍යතාවක් බව මැනවින් හඳුනාගෙන කටයුතු කිරීම රාජ්‍ය පාලනයේ දී ප්‍රධාන කරුණක් බව අප අවබෝධ කරගත යුතු ය.

අපට ලෝකයට ලබා දිය හැකි මිල කළ නොහැකි වටිනාම සම්පත වනුයේ නිර්මල ථෙරවාදී දහම යි. ඒ සඳහාවූ අවස්ථා පුළුල් කිරීම, මහා සංඝරත්නය දැනුමෙන් පෝෂණය කිරීම, සංඝ සාසනයේ චිරස්ථිතිය සහ පැවැත්ම සඳහාවූ අපගේ වගකීම සහ වගවීම අත් නොහළ යුතු මෙහෙවරක් බව අප තරයේ වටහාගත යුතු ය.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සීයක් ඉක්මවූ මේ මොහොතේ ලොව පුරා බෞද්ධ ජනයා තෙමඟුල සමරනුයේ උන්වහන්සේගේ දහමෙහි විශිෂ්ටත්වය හඳුනාගෙන ඇති නිසාවෙනි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී වදාළේ ද මගෙන් පසුව ධර්මය ගුරුතන්හි තබා කටයුතු කරන ලෙසයි.

මේ වෙසක් දිනයේ අපගේ අධිෂ්ඨානය විය යුත්තේ ද ඒ උදාර දැක්ම අනුව ධර්මය ගුරුතන්හි තබා යහපත් ලෝකයක් ගොඩනැඟීමට අපගේ කැපවීමයි. එය වෛරයෙන් තොර මෛත්‍රියෙන් පිරි ලෝකයක මාවත විවර කර දෙනු ඇත.

ඔබ සැමට ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවා. සැමට තෙරුවන් සරණයි!

විපක්ෂනායකවරයා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ වෙසක් දින පණිවිඩය 

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading

පුවත්

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

Published

on

By

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව අද දින (30) ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

Continue Reading

පුවත්

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය ක්‍රමයක්

Published

on

By

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රක් ටොන් 25කට යටත්වන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සපූපකාර සමිති ය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ මෙම ණය ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බවය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 07%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස පහත සඳහන් බැංකු තෝරාගෙන තිබේ.

• ලංකා බැංකුව
• මහජන බැංකුව
• ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
• හැටන් නැෂනල් බැංකුව
• සෙලාන් බැංකුව
• සම්පත් බැංකුව
• කොමර්ෂල් බැංකුව
• ඩී.එෆ්.සී.සී බැංකුව
• ජාතික සංවර්ධන බැංකුව
• නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
• සණස සංවර්ධන බැංකුව
• අමානා බැංකුව
• කාගීල්ස් බැංකුව
• පෑන් එෂියා බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6,500ක් පමණ වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණයයෝජනා ක්‍රමය 2025 ජූලි මස 01 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව, පසුගිය 2024/25 මහ කන්නයේදී මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 6,850ක පමණ ණය අරමුදල් වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ලබාදෙන දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved