පුවත්

ජනපති, අගමැති හා විපක්ෂනායකගෙන් හජ් සුබ පැතුම් පණිවුඩ

Published

on

ආධ්‍යාත්මික හා ලෞකික වශයෙන් ජයග්‍රහණය ලැබීමට නම් මිනිසා ආත්මාර්ථයෙන් මිදී පරිත්‍යාගයෙන් සහ සහජීවනයෙන් දිවි ගෙවීමට හුරු පුරුදු විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ය.

ලොව පුරා විසිරි සිටින සියලු ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණකින් එකම පූජා භූමියකට රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය ප්‍රාර්ථනා කිරීම මෙදින සිදු වෙයි.

ලෝකවාසී සියලු මනුෂ්‍යයන්ගේ සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් ජනිත කරවන හජ් සැමරුම ලෝක සාමය උදෙසා ද මහඟු පණිවිඩයක් ලබා දෙන බව ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් ය.

මේ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ආධ්‍යාත්මික වටිනාකම්වලින් සමාජය තවතවත් පෝෂණය කළ යුතු බවයි.

සාමූහිකව එක්රැස්ව තමන් අදහන ආගම් සමග බැදී පවත්නා වත්පිළිවෙත් ඉටු කිරීම ඈත ඉතිහාසයේ සිටම සිදුවන්නක් බවත්, ඉස්ලාම් බැතිමතුන්ද හජ් වන්දනාවේ යෙදෙමින් සමාජයීය සහජීවනයේ අරුත සන්නිවේදනය කරන බවත් එහි දැක්වෙයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ද හජ් දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර ඇති අතර ඉතිහාසයේ පටන් විවිධ ආගමික පූජාවන් සඳහා මිනිසුන් සාමුහිකව එක් රැස් වූ අතර ආගම හා බැදුණු  වත්පිළිවෙත් සුරැකීමත් එකිනෙකා අතර සහ සම්බන්ධය හා සහයෝගය ඇති කරගැනීමත් හජ් උත්සවය දා සිදු වූ බව එහි සඳහන්ය.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ , ආගමක් තුළන් අපේක්ෂා කරනුයේ මිනිස් සමාජය මානව දයාවෙන් පරිපූර්ණ කර යහපත් සමාජයක් නිර්මාණය කිරීම බවයි.

විවිධ බෙදීම්වලින් මිනිස් වර්ගයා අතර ගැටුම් ඇතිකර ගන්නවා වෙනුවට අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැදී සහෝදරත්වයෙන් සිටීමේ වැදගත්කමද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පණිවුඩයෙන් සිහිපත් කරයි.

හජ් උත්සවයේ ප්‍රමුඛ පරමාර්ථය සමානාත්මතාවයෙන් හා සහජීවනයෙන් දිවි ගෙවීම බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය පණිවුඩයෙන් පෙන්වා දෙයි

Trending

Exit mobile version