අපනයනය සඳහා පමණක් ත්‍රෛලෝක විජයපත්‍ර (කංසා) පාදක නිෂ්පාදන සිදු කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශ මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඒ සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද පැවසේ.
පවතින නීතිරීතිවලට අනුකූලව ත්‍රෛලෝක විජයපත්‍ර බෝගය වගා කිරීම හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීම පිළිබඳ තාක්ෂණික මාර්ගෝපදේශ ලබා දීම හා නියාමන රාමුවක් සකස් කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැවරීමට නියමිත බවද වාර්තා වේ.
ඒවා අපනයනයට අදාළ ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීම, ආයෝජන සැලැස්ම තීරණය කිරීම හා ක්‍රියාත්මක කිරීමේ කාල රාමුව සකස් කිරීම ඇතුළුව ආයෝජකයන් සමඟ එකඟතාවකට පැමිණීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පැවැරී තිිිබේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින භූමියක හෝ එවැනි භූමියක් නොමැති නම් රජයට අයත් භූමියක් ආයෝජන මණ්ඩලය වෙත පවරා ත්‍රෛලෝක විජයපත්‍ර වගා කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමටද රජය පියවර ගනු ඇතැයි ද වාර්තා වේ.
කෙසේවුවද, කොළඹ ප්‍රධාන හෝටලයක පැවැති විද්වත් සාකච්ඡාවකදී හෙළිව තිබුණේ විද්‍යානු කූලව ලංකාව තුළ ගංජා වගා කිරීමට හෝ ඒවා අපනයනයට කිසිදු පිළිගත් විද්‍යාත්මක පරීක්ෂණයක් හෝ නිරීක්ෂණයක් මෙතෙක් සිදුකර නොමැති බවයි.
මූලාශ්‍රය – අරුණ