Connect with us

පුවත්

ජනපති ජාතිය අමතයි ( සජීවී )

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව.

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා
සිදු කළ විශේෂ ප්‍රකාශය
(2024-09-25)

ස්වාමීන්වහන්ස, පූජකතුමණි, දෙමාපියණි, සහෝදර සහෝදරියණි, දූ දරුවණි,

දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඬට සෙමෙන් සෙමෙන් නමුත්, තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවූ පිරිස් පවා, අප ලබාගත් ජයග්‍රහණයෙන් සතුටට පත්වෙන්නේ නම් පමණක් බව අප විශ්වාස කරනවා. ඒ නිසා මේ ජයග්‍රහණයේ අයිතිය අප රටේ සමස්ත පුරවැසියන්ටම පිරිනැමීමට මා කැමතියි.

අපගේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය තබා, විවිධ අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු බැහැර කරමින්, අලුත් අත්හදා බැලීමකට බිය නොවී, අපගේ දේශපාලන ව්‍යාපාරයට රටේ පාලන බලය ලබා දීමට තරම් සුවිශාල අධිෂ්ඨානයක් තිබූ ජනතාව ඇතුළු සමස්ථ ජනතාවටම අප සමග එක්ව මේ රට ගොඩනැංවීමේ කාර්යභාරයට උරදීමට ශක්තියක් ඇති බව අපගේ විශ්වාසයයි.

මෙම ජයග්‍රහණය වෙනුවෙන් අපට පෙරත් අප සමගත් විවිධ කැපකිරීම් කරමින් සමහර විට ජීවිත පවා පරිත්‍යාග කරමින් කටයුතු කළ පරම්පරා ගණනක වටිනා මිනිසුන් ගැහැණුන් සියලු දෙනා අපි ගෞරවයෙන් සිහිපත් කරනු ලබනවා. මෙම ජයග්‍රහණයත් ඒ සමග ගොඩනගන පොහොසත් රටත්, ඔවුන් වෙනුවෙන් කරන ගෞරවයක් ලෙස මා දකිනවා.

මෙරට ගොඩනැගීමේ කාර්යභාරය සාමූහික ප්‍රයත්නයක් ලෙස ඉටු කිරීමේ හැකියාව අප තුළ තිබෙනවා. ඒ සඳහා ඉතාම දක්ෂ කණ්ඩායමක් අප සතුව ඉන්නවා. අපි සියලු දෙනාට ඒ පිළිබඳව දැඩි අධිෂ්ඨානයක් තිබෙනවා.

සෑම ක්ෂේත්‍රයකම ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බවට අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් දිගු කාලීන හා මධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර, අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අප කටයුතු කරනවා.

අප අපෙක්ෂා කරන වෙනස සඳහා, සැලකිය යුතු කාලයක් තුළ, පියවර රැසක් ගැනීමට තිබෙනවා. එහෙත් ඒ සියල්ල රැඳී පවතින්නේ වර්තමාන ආර්ථිකය තුළ ස්ථාවරත්වය හා විශ්වාසය ගොඩ නැංවීමෙන් පමණයි. ඒ සඳහා, ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර, විස්තීරණ ණය පහසුකමට අදාල කටයුතු ඉදිරියට ගෙන යාමට අප අදහස් කරනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල ණය පාර්ශව සමග සාකච්ඡා කර, ඒ සම්බන්ධ කටයුතු හැකි ඉක්මනින් නිම කර, අදාල ණය සහන ලබා ගැනීමට අප කටයුතු කරනවා. ඒ සඳහා මේ රටේ ජනතාව වගේම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගයත් ලබා ගතහැකි බවට අප විශ්වාස කරනවා. ඒ සහයෝගය තුළින් අපට සාමූහිකව ජයග්‍රහණය කළ හැකි බව අපි විශ්වාස කරනවා.

අපට බලය ලබා දීමේ දී මහජනතාව තුළ තදින් මුල් බැසගත් සංකල්පයක් වූයේ “වෙනසක්” ඇති කිරීමයි. මෙතුලින්, වෙනසක් යන්නෙන් මෙරට පුරවැසියා අපේක්ෂා කරන ලද වෙනස්කම් අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීමයි. අද වන විට එය අප භාවිතයෙන් ඔප්පු කරලා තියෙනවා. මෙරට සියලුම ආකාරයේ මැතිවරණයන් සලකා බැලුවද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුනු එකම මැතිවරණය පැවැති ජනාධිපතිවරණය ඉතිහාසයට එක් කිරීමට අප සමත්වීම, මෙරට ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සනාථ කිරීමකි. මෙම තත්වය තහවුරු කරමින් ස්ථාවර කිරීම අපගේ අරමුණයි.

දේශපාලනයේදී බලය ලබා ගැනීම වෙනුවෙන් සංවිධානය වීම සහ ඒ වෙනුවෙන් උපාය මාර්ග ගැනීම ඕනෑම කෙනෙකුට තිබෙන අයිතියක්. දේශපාලනය කරන වෙලාවට දේශපාලනය කිරීමත්, රට ගොඩනැගීම උදෙසා කටයුතු කළ යුතු වෙලාවට ඒ වෙනුවෙන් සාමූහිකව එක්වීමේ වැදගත්කමත් මම මේ මොහොතේ අවධාරණය කරනවා. ඒ සඳහා අප නායකත්වය ලබා දෙනවා.

සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, මැලේ වේවා, මේ සියලු දෙනාටම “අප ශ්‍රී ලාංකික පුරවැසියන්” කියා අභිමානයෙන් ජීවත් විය හැකි ප්‍රායෝගික රටක් නිර්මාණය වන තුරු මේ රට අසමත් වනවා හැර, සමත් වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන ව්‍යවස්ථාමය, ආර්ථක, දේශපාලනික ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට අප කිසිසේත්ම පැකිලෙන්නේ නෑ.

තමන්ගේ ජාතිය, ආගම, පංතිය, කුලය අනුව මේ රට වෙන් වුනු යුගය සහමුලින්ම අවසන් කර, විවිධත්වයට ගරු කරන ශ්‍රී ලාංකික ජාතියක් හැටියට මේ රට ගොඩනැංවීමේ නොවෙනස්, ස්ථිරසාර වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා.

මේ සියලු කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඒවා මෙහෙයවීමට අවශ්‍ය කාර්යක්ෂම හා අවංක නිලධාරීන් පත් කිරීමේ පියවරයන් රැසක් අප මේ වන විටත් අවසන් කර තිබෙනවා. මහජන සේවාව බිඳ නොවැටෙන හා පුරවැසියන් කෙරෙහි අයහපත් අන්දමේ බලපෑමක් ඇති නෙවෙන පරිදි, අපේක්ෂිත වෙනස්කම් කරා, පියවරෙන් පියවර අප ඉදිරියට යනවා.

නීතිගරුක රටක් නිර්මාණය කරමින් විනය ගරුක සමාජයක් ඇති කරන්න අපි කැපවෙනවා. සියලු පුරවැසියන්ගේ සමාජ ආරක්ෂාව තහවුරු කරනවා. නීතිය ඉදිරියේ සැවොම සමානයි යන සංකල්පයට යළි ජීවය ලබා දෙනවා.

අප රට ගොඩ නැංවීමේ දී රාජ්‍ය සේවයට විශාල කාර්යභාරයක් පැවරෙන බව අප විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් මහජනතාවට අභිමානය සැලසෙන, රජයේ ඉලක්ක කරා හඹා යන රාජ්‍ය සේවයක් ඇති කරනවා. කාර්යක්ෂම අවංක සහ ජනතාවාදී රාජ්‍ය සේවයක් සථාපිත කිරීම වෙනුවෙන් අපේ කැප වෙනවා.

මේ රටේ මහ ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම අපගේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් ප්‍රායෝගික වැඩ පිළිවෙලක් අප ක්‍රියාවලට නංවනවා. ජනතාව මත පැටවී ඇති අධික ජීවන බර අවම කිරීම සඳහා අප පියවර ගන්නවා.

මේ රටේ සෑම මවකට සහ පියකුට තමන්ගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් සාංකාවක් ඇතිවෙන්න ඉඩක් තියන්නේ නැහැ. තමන්ගේ දරුවට හොඳ පාසැලක්, හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ හැම දෙමාපියකුටම අයිතියක් තියෙනවා. සියලු දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීමට කැපවෙමින් මතු පරම්පරාව සුරක්ෂිත කරන්න අපි කැප වෙනවා. දැනුම, ආකල්ප හා කුසලතා දියුණු කිරීම මඟින් අප රටේ තරුණ පරම්පරාවට විශ්වාස කළ හැකි අනාගතයක් නිර්මාණය කරනවා.

ඕනෑම රටකට අප ගිය විට ගුවන් තොටුපොළේ ස්වභාවයෙන්ම රට ගැන යම් චිත්‍රයක් මවා ගන්නට පුළුවන්. එහි පිළිවෙල , මිනිසුන්ගෙ හැදියාව, ක්‍රියාකාරිත්වය , හැසිරීම් රටාව මේ ආදී සියල්ල තුළින් ගම්‍ය කරන්නේ ඒ රටේ ස්වභාවය. ඉන් ඔබ්බට පරිසරයේ පිරිසිදු බව, පාරවල් වල වාහන යන ආකාරය, වැඩිහිටියන්ට සලකන ආකාරය, ආගන්තුක සත්කාර ඒ වගේම සත්තුන්ට සලකන ආකාරය පවා එමගින් සනාථ කර ගන්න පුලුවන්. අප රටේ ප්‍රතිරූපයත් ඒ අකාරයෙන්ම පැහැදිලිව පෙනෙන ආකාරයට ගොඩ නැංවීමට අප සැලසුම් සකස් කර අවසන්. ඒ ගොඩනැගීම වෙනුවෙන් කෙටි කාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ගන්නවා.

මේ රටේ විදෙස් ගමන් බලපත්‍රයට ලෝකය ගරු කරන තත්වයකට රට ගොඩ නංවන්නට අවශ්‍යයි. මේ රටේ පුරවැසියන්ට ‘මම ශ්‍රීලාංකිකයෙක්’ කියලා අභිමානයෙන් කියන්න පුලුවන් රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි . “මේ රටේ පුරවැසියෙක් වීම අභිමානයක්!” කියලා අපේ රටේ ජනතාවට හිතෙන තැනට මේ රට පත් කරන්න අවශ්‍යයි. ඊට ඔබේ සාමූහික දායකත්වය අවශ්‍යයි.

සියලු පුරවැසියන්ට සමාජ සාධාරණත්වය හිමිවන රාජ්‍යයක් වෙනුවෙන් අපි වඩාත් වගකීම් සහගත ලෙස දායක වෙනවා.

දැනුම කුසලතාවය අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය දිරි ගන්වන වැඩපිළිවෙළක් තුළින් අපගේ ළමා හා තරුණ පරපුරට විහ්වසනීය අනාගතයක් අප විසින් නිර්මාණය කරනවා.

අපේ රටේ ජනගහනයෙන් සියයට පනස් දෙකක් ඉක්මවන කාන්තා ප්‍රජාව මෙරට ආර්ථිකයේ සහ සමාජ ක්‍රියාවලියේ සුවිශාල දායකත්වයක් දක්වන පිරිසක්. කාන්තා නියෝජනය සම්බන්ධව සියලු දෙනාට එක්ව ගතහැකි ක්‍රියාමාර්ග වෙතට අපි යොමු වෙනවා. සියළු ආයතනයන්හි කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට අප විසින් පියවර ගන්නවා. ඒ සඳහා වන අපගේ කැපවීමේ ආදර්ශය සනාථ කරමින් දැනටමත්, අපගේ අග්‍රාමාත්‍යධූරයට කාන්තාවක් පත් කර තිබෙනවා.

මෙරට ජනගහනයෙන් විශාල පිරිසක් ආබාධ සහිත, සුවිශේෂ සමාජ ආරක්ෂණයක් ලැබිය යුතු පිරිසක්. එම පිරිස වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් අප විසින් යෝජනා කර තිබෙන අතර එහි කෙටි කාලීන ක්‍රියාමාර්ග කඩිනමින් ආරම්භ කරනවා.

අප යන ගමනේදී මේ සමාජ දේහයේ සියලු කණ්ඩායම් මග නොහරින බවට අප වග කියනවා. එකිනෙකාගේ අනන්‍යතාවයන්ට ගරු කරමින් ඒවා රටේ ප්‍රගතිය උදෙසා සාධනීය ලෙස යොදා ගැනීම වෙනුවෙන් අපේ දායකත්වය අපි ලබාදෙනවා.

මහජන පරමාධිපත්‍යය පිළිබඳව අප ඉතාම දැඩිව විශ්වාස කරන අතර ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප වෙනවා.

අප පිළිබඳව සැක සංකා හේතුවෙන් අවිනිශ්චිතතාව ඇති අය සිටින බව මා දන්නවා. මාගේ ක්‍රියාවන් තුළින් ඔබගේ විශ්වාසය දිනා ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබගේ සාධනීය විවේචන මම පිළිගැනීමට සූදානම්. එමෙන්ම අප එක්ව ගොඩනගන අනාගතයේ කොටස්කරුවන් වීමට ඔබව ධෛර්යමත් කරනවා. අප අතර පවතින වෙනස්කම් අතික්‍රමණය කළ හැකි නම්, ඔබ හා අප අතර ඇති ඉලක්ක සමාන බව ඔබ වැටහෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එමගින් රට මුහුණ දී ඇති අර්බුදය පිළිගැනීමටත්, එතුළින් ඉදිරියට යාමට අවශ්‍ය උපාය මාර්ග එක්ව සැලසුම් කිරීමටත් හැකි වෙනවා. මේ රට ගොඩනැගීම උදෙසා සාධනීය ලෙස අවංකව සම්බන්ධ වන සියලු දෙනාට අපගේ දොරටු විවෘතයි.

ජනතාවගේ ජන වරමට අනුරූපී වන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. පවතින පාර්ලිමේන්තුව ජනතාවගේ ජන වරමේ විකෘතියක්. ඒ අනුව මා, ඊයේ දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත්තා. ව්‍යාවස්තානුකුලව රට ගෙන යාම සදහා අපගේ පාර්ලිමේන්තු නියෝජනයට අනුරූපී වන ආකාරයට කැබිනට් මණ්ඩලයක් ද පත් කර ගත්තා.

අලුත් ඉරක් පායන හැම දවසකම මේ රටේ සියලුම මිනිසුන් දකින සිහිනයක් තිබෙනවා.

ඒ අදට වඩා හොද හෙටක්!

එහෙත්,

දශක ගනනාවක් තිස්සේම එය සිහිනයක් පමණක් වූ බව ඔබත්, මමත් දන්නා කරුණක්.

අවස්‍ථාවාදය, බලලෝභය, ඒකාධිපතිවාදය හා ජාතිවාදය හේතුවෙන් අපේ රට තවමත් ඉහලින් ඔසවා තබන්නට අපට බැරිවෙලා තිබෙනවා..!

එහෙත්, දැන් අපට ඉතිහාසයේ අත්හල නොහැකි අවස්‍ථාව ලැබී තියෙනවා. අපි සියලු දෙනා එකට එක්ව, විවිධත්වයන් දරාගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනගමු.

ස්තුතියි

තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

ජනාධිපති මාධ්‍ය අංශය
2024-09-25

පුවත්

ජාත්‍යන්තර සාගර දිනය අද

Published

on

By

ජාත්‍යන්තර සාගර දිනය, අදට (08) යෙදී තිබේ.

මෙවර එහි තේමාව, ”අප රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්නයි.

සාගර දින ජාතික සැමරුම, කොළඹ වරාය නගරයේදී අද පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ, ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ ය.

ජගත් සාගර දිනයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රථම වරට අවධානයට ලක් වුණේ, 1992 වසරේ පැවති එක්සත් ජාතීන්ගේ පරිසර හා සංවර්ධන සමුළුවේදීයී.

එහි ප්‍රතිපලයක් ලෙස, 2008 වසරේදී, ජුනි 8 වැනිදා ලෝක සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

සාගරය, භූමියේත් ජීවයේත් පැවැත්මට ලබා දෙන්නේ අසීමාන්තික දායකත්වයක්.

මිනිසාට අවශ්‍ය ඔක්සිජන් ප්‍රතිශතයෙන් සියයට 50 ත් 85 ත් අතර ප්‍රමාණයක් සාගරයෙන් හිමි වේ.

කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයෙන් සියයට 30 ක් අවශෝෂනය කර ගන්නේ ද සාගරයයි.

පෘථිවියේ විශාලතම ආහාර ගබඩාව හා ඉන්ධන ගබඩාව ලෙස ද, සයුර හැඳින්විය හැක.

මෙවන් අසීමාන්තික දායකත්වයක් ලබා දෙන සාගරය, අද වන විට බරපතල තර්ජනයකට ලක්ව ඇත.

ඉන් බරපතලම ගැටලුව වී ඇත්තේ,  ප්ලාස්ටික් පොලිතින් ඇතුළු විවිධ අපද්‍රව්‍ය සාගරයට මුදා හැරීමයි.

Continue Reading

පුවත්

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නවා – මහාධිකරණ විනිසුරු රංග දිසානායක

Published

on

By

සමහරු වංචාවෙන් දූෂණයෙන් හොයපු ගණන කොච්චරද කියනවනම් සමහර ඒවා තමාට සම්මත ක්‍රමයට කියවීම පවා දුෂ්කර බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පැවසීය.

කුණු ගෙනියන ට්‍රැක්ටරයේ සිට අල්ලස් ගන්නා ක්‍රමවේදයක් රටේ නිර්මාණය වී පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෝක ගුරු දිනයට සමහර ගුරුවරියන් සාරි හතළිහක් විතර ගෙදරට ගෙනියන බවද සඳහන් කළේය.

ඇතැම් දරුවන් ගුරුවරියට සාරියක් ගෙනියන්න නොදුන්නොත් එදින පාසලට පවා නොයන බව ඔහු කීවේය.

ජනතාව හොරු අල්ලන්න කිව්වත් බලාපොරොත්තු වන්නේ ඔවුන් කියන හොරු ඇල්ලීම පමණක් බවත් රටේ සුදු කරපටි වංචනිකයන් ඉදිරියෙන් සිටින හෙයින් ඔවුන් අත්අඩංගුවට ගැනීම අද ලොකු අභියෝගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

රංග දිසානායක මහතා මෙසේ පැවසුවේ ඊයේ කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදීය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

මාතර බන්ධනාගාරය කොටවිලට

Published

on

By

මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙනයාමට කඩිනමින් කටයුතු කරන බව අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කියයි.

ඊයේ (07) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

මාතර බන්ධනාගාරයේ පවතින අඩුපාඩු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා,

“මාතර බන්ධනාගාරයේ පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මෙම බන්ධනාගාරය ස්ථාපිත භූමියෙහි බන්ධනාගාරයකට අවශ්‍ය  කටයුතු සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසාවෙන් බන්ධනාගාර නිලධාරීන් කාර්ය මණ්ඩල මෙන්ම රැඳවියන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ සඳහා විසඳුමක් වශයෙන් මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට කඩිනමින් ගෙන යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරනු ලැබුවා.”

“මාතර නව අධිකරණය ස්ථාපිත කර තිබෙන්නේ කොටවිල ප්‍රදේශයේයි. එහි බන්ධනාගාරය ස්ථාපිත කිරීමට ඉඩමක් වෙන් කර තිබෙනවා. පසුගිය දිනවල පැවති කලබලකාරී තත්ත්වය සමඟ මාතර බන්ධනාගාරයට හානි සිදු වුණා. එම තත්ත්වයත් නිරීක්ෂණය කරනු ලැබුවා. රටේ සංවර්ධන සැලැස්ම සමඟ බන්ධනාගාරය දැනට ස්ථාපිත භූමිය ‌ඵෙතිහාසික වටිනාමක් සහිත භූමීයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කටයුතු පිළිබඳව අද සාකච්ඡා කළා. ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර කඩිනමින් ඉදිරි කටයුතු සිදු කරනවා.”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved