ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මතයට හිස නමමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, නව පොලිස්පතිවරයා ලෙස මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සිදුකළ නාමයෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයි ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසන බව ‘ඉකොනොමි නෙක්ස්ට්’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මේ සතියේදී විශ්‍රාම යාමට නියමිත අතර, නව පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කරන මෙන් මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස් මහතා දැඩි ලෙස උත්සහ දරා තිබුණු බවට වාර්තා වේ.
තෙන්නකෝන් මහතාව පත්කිරීමට නොහැකි බව ජනාධිපතිවරයා පවසා ඇති අතර, බොහෝ විට වික්‍රමරත්න මහතාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කරනු ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන බව ‘ඉකොනොමි නෙක්ස්ට්’ හි දැක්වේ.
එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ තමා විසින් තෙන්නකෝන් මහතාගේ නම පසුගිය සතියේදී ව්‍යවස්ථාදායක සභාවට නම් කළ බවට පැවසෙන මාධ්‍ය වාර්තා දැකීමෙන් ජනාධිපතිවරයා කෝපයට පත් වී ඇති බවයි.
යුක්තිය පසිඳලීමට සහ නීතියේ ආධිපත්‍යය සඳහා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) අදහසයැයි ද පුරප්පාඩු වන නව පොලිස්පති ධුරය සඳහා හොඳම පත්කිරීම කරන්නැයිද කියමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගියදා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබුණි.
මේ අතර, වර්තමානයේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයේ ලැයිස්තුවක් ‘ශ්‍රී ලංකා මිරර්’ වෙතට ලැබී ඇති අතර, එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාය.