Connect with us

පුවත්

ජනපති හා නවසීලන්ත නියෝජ්‍ය අගමැති අතර හමුවක්

Published

on

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් (Winston Peters) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි සිදු විය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ද ලැබු සුවිශේෂී ජයග්‍රහණ පිළිබඳ මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නව රජය වෙත නවසීලන්ත රජයේ සහ ජනතාවගේ සුබපැතුම් පිරිනැමූ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා ඉතා ශක්තිමත් ලෙස තහවුරු කර ගැනීම තම රජයේ අරමුණ බවද කියා සිටියේය. 

නව රජය යටතේ ශ්‍රී ලංකාවේ සිදු වෙමින් පවතින ධනාත්මක වර්ධනය පිළිබඳ සතුට පළ කළ නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් නව රජය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළේය.

එමෙන්ම රට නිවැරදි දිශාවට ගෙන යාමේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැසසුමට ලක් කළ අතර,  ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධනයක් උදා කිරීමට එම වැඩපිළිවෙළ ඉවහල් වනු ඇති බවට විශ්වාසය පළ කළේය. 

මෙම පසුබිම තුළ නවසීලන්ත රජය ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහාය ඉදිරියේදී තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. 

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකා – නවසීලන්ත සබඳතාවල නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බව සඳහන් කළේය. 

එමෙන්ම  ජනතාව අතර දිගු කලක් තිස්සේ පැවති බෙදීම් දිගුකාලීන ගැටුම්වලට හේතු වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංහිඳියාවේ වැදගත්කම පිළිබඳවද පැහැදිලි කළ අතර තම රජය සංහිඳියා ක්‍රියාවලියේ ප්‍රධාන කුළුණ ලෙස ජාතික සමගිය ගොඩනැගීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී තිබෙන බව ප්‍රකාශ කළේය.

කෘෂිකර්මාන්ත, අධ්‍යාපන සහ සංචාරක යන ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දෙරටම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන මෙම ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් සමීපව කටයුතු කිරීමටද මෙහිදී එකඟ වුහ.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්  රෝෂන් ගමගේ යන මහත්වරු  සහ නවසිලන්ත විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

මේ නිවේදනය මෙවර සරසවි වරම්ලත් සිසුන්ට…

Published

on

By

2024 වර්ෂයේ අ.පො.ස.(උසස් පෙළ) සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකරනු ලැබේ.

ඒ අනුව, 2024 උසස් පෙළ මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්කිරීම 2025 මැයි මස 30 වන දින මධ්‍යම රාත්‍රියෙන් අවසාන බව විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

හැකි සෑම සිසුවෙකුටම අන්තර්ජාලය මඟින් අයදුම්පත යොමුකරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී ඇත.

www.ugc.ac.lk නිල වෙබ් අඩවියට පිවිස සිය අයදුම්පත යොමුකළ හැකි බව විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

පාස්පෝට් කාර්යාලයේ චෝදනා ලත් සහකාර  පාලකවරයා රිමාන්ඩ්

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ සැකකරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

Continue Reading

පුවත්

මර්වින්ට අධිචෝදනා

Published

on

By

සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපොළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය  මර්වින් සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ, 2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද සිදුකර ඇති බවය.

ඒ අනුව කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි 39 ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කර ඇති අතර කොළඹ -07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැයකර තිබෙන බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වේ.

ඊට අමතරව සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් mercedes benz රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි 23 ලක්ෂ 75000 ක මුදලක් වැය කර ඇති බවත් හයි හුන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55 කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අභිබවා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩුව තුළින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව දෙකකි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved