පුවත්

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කඩදාසි පන්නලා

Published

on

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ රුපියල් ලක්ෂයකට අධික මුද්‍රණ කඩදාසි සොරකම් කිරීම සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිලධාරියකු ඇතුළු තිදෙනකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (25) නඩුවක් පවරන ලදී.

මෙලෙස නඩු පවරනු ලැබුවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මුද්‍රණ අංශයේ ආරක්ෂක නිලධාරියකු වශයෙන් සේවය කළ බදුල්ල, සිල්පොල්ගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ සුමිත් ජයනන්ද. වැලිමඩ, මාමින්නවත්ත පදිංචි පන්නිය සෙල්වම් චන්ද්‍රසේකර සහ බදුල්ල කන්දේගෙදර පදිංචි රාජේන්ද්‍රන් කෂාන් නමැති විත්තකරුවන් තිදෙනකුටය.

2023 දෙසැම්බර් 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ජන හා නිවාස සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මුද්‍රණ අංශයේ තිබූ රුපියල් එක්ලක්ෂ එකොළොස් දහස් හතළිහක් (1,11,040) වටිනා 24×36 ප්‍රමාණයේ සුදු පාට කඩදාසි රිම් 10ක් සොරකම් කිරීම, සොර බඩු ළඟ තබා ගැනීම, ඒවා අලෙවි කිරීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව පොලිසිය නඩු පවරා තිබිණි.

විත්තිකරුවන් තිදෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහරින ලෙස නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අදාළ නඩුව ලබන මැයි 03 වැනිදා කැඳවන ලෙස නියම කළේය.

(අරුණ)

Trending

Exit mobile version