පුවත්

“ජාජබ රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා”

Published

on

ජාතික ජන බලවේග රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඇය පෙන්වා දෙන්නේ වර්තමානයේ පවතින ක්‍රමය තුළ ගණිකාවන් නිර්මාණය කරමින් ඇති බවයි. 

ගණිකා වෘත්තිය සඳහා රීති පද්ධතියක් ඇති කළ යුතු බව ද ඇය සඳහන් කරන්නීය.

මෙය කැමැති වුණත් අකමැති වුණත් සංස්කෘතිය තුළ පවතින දෙයක් බව සඳහන් කරන සමන්මලී ගුණසිංහ මහත්මිය යම් නීති රාමුවක් තිබෙනවා නම් ඇයට ආරක්ෂාවක් තිබෙන බව ද සඳහන් කළාය.

”මේ වන විට කාන්තාවන්ට පවුල තුළ ලොකු ආර්ථික පීඩනයක් තිබෙනවා. මේ ආර්ථික ප්‍රශ්න නිසා ගැහැනිය අනාරක්ෂිත වෙලා. ගැහැනිය එළියට, ස්පා එකට යන්න සිද්ධ වෙලා තිබෙනවා. ස්පා එක හොඳයි. හැබැයි අපේ ස්පා එක බවට පත්වෙලා තියෙන්නෙ වෙන කාර්යයක්. ගණිකා වෘත්තියට යම් නීති පද්ධතියක් අවශ්‍යයි. හැබැයි මෙය අප ප්‍රමෝට් කරන්නෙ නැහැ. වෙනත් වෘත්තියක් ඇයට දෙනවා නම් ගරුත්වයෙන් වැඩ කරන්න පුළුවන් රැකියාවක් දෙනවා නම් ඇගේ ශ්‍රමය අමානුෂික ලෙස සූරා නොකන රස්සාවක් අපට දෙන්න පුළුවන් නම් ලිංගික ශ්‍රමිකයා කියන වෘත්තිය නැති කරන්න පුළුවන්. ජාතික ජන බලවේගයට ඒ සඳහා වැඩපිළිවෙළක් තිබෙනවා. ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිගන්නවා” යයිද ඇය පවසන්නීය.

කාන්තාවන් සහ දරුවන් මේ වන විට සමාජය තුළ බරපතළ අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දෙන ගුණසිංහ මහත්මිය ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගය සතුව ඇති බව ද සඳහන් කළාය.

(දිනමිණ)

Trending

Exit mobile version