පුවත්

ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සමිති සම්මේලනයේ නායකයන්, ජනපති හමුවෙයි

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ හා ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනයේ (IFRC) නායකයන් අතර හමුවක් අද පෙරවරුවේ (07) සිදු විය.

ජූනි 6 සහ 7 දෙදින කොළඹ පැවැත්වෙන  දකුණු ආසියාවේ රතු කුරුස සහ රතු අඩ සඳ සමාජවල නායකයන්ගෙන් සමුළුව පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීම මෙම හමුවෙහි මූලික අරමුණ විය.

ලෝක ආපදා වාර්තාව 2022 ප්‍රකාශයට පත් කිරීම ද මෙම සමුළුවේ දී සිදු වූ අතර එහි පිටපතක් සහ ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සමිති සම්මේලනයේ ජාත්‍යන්තර ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත  පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රතු කුරුස පනත බලාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද  මෙහිදී නියෝජිත පිරිස විසින් ජනාධිපතිවරයා දැනුවත් කරුණු ලැබිණ.

පනත බලාත්මක කිරීම  ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ මෙහෙයුම් ධාරිතාව ශක්තිමත් කිරීමට සහ රට පුරා සිටින අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට කාර්යක්ෂම සේවා සැපයීමට ඉවහල් වන බව ද ඔව්හු පෙන්වා දුන්හ.

ඒ කෙරහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමටත්, එමගින් ශ්‍රී ලාංකීය ජනතාවගේ සුබසාධනය තහවුරු කිරීමටත් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ නියෝජිතයන් සමග සාකච්ඡා කළේය.

මානුෂීය ගැටලු විසඳීමේ දී සහ ආපදාවන්ට මුහුණදීමේ දී ජාත්‍යන්තර මානුෂීය සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ද ජනාධිපතිවරයා මෙහිදී සහතික කළේය.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මහේෂ් ගුණසේකර, ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනයේ ආසියා ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් මතේව්, ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩ සඳ සමිති සම්මේලනයේ දකුණු ආසියාවේ නියෝජිත ප්‍රධානී උදය රෙග්මි යන මහත්වරු ඇතුළු දකුණු ආසියානු රතු කුරුස සංවිධානයේ සහ ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සමිති සම්මේලනයේ ජාතික සංගම් අටක නායකයින් මෙම හමුවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Trending

Exit mobile version