පුවත්

උද්ඝෝෂණයට අනුර නැහැ (Update)

Published

on

පළාත් පාලන ඡන්දය පවත්වන්නැයි රජයට බලකරමින් ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසම ඉදිරිපිට අද (08) පස්වරුවේ පැවැත්වූ උද්ඝෝෂණයට එහි නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගිවී නොසිටි බව වාර්තා වේ.

ඒ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයට පිවිසෙන කෝට්ටේ පාර, කොටා පාර සහ සරණ පාර යන මාර්ග වල මහජනතාවට පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නිකුත් කර තිබූ වාරණ නියෝගයක් නිසා බව පැවසේ.

පොලීසිය කරන ලද ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර තිබුණේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට එරෙහිවය.

කෙසේවුවද, ජාතික ජන බලවේගයෙන් පළාත් පාලන ඡන්දයට නාම යෝජනා භාරදුන් අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් පස්වරුවේ එම ස්ථානයේදීම උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.

එම උද්‌ඝෝෂණය ආරම්භ කිරීමට පෙර සිටම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට ඇතුළුවන ගේට්ටුව අසල සහ ඒ අවට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා ආරක්ෂාව තර කර තිබූ අතර කැරලි මර්දන ඒකකයද කැඳවා තිබුණි.

පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පැවැත්වීමෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ උද්ඝෝෂකයන් විසිර ගියේය.

——————————————

(පෙර පුවත: 2023 ජුනි 08, ප.ව.04:23)

ජාතික ජන බලවේගයේ විරෝධය නිසා සරණ පාර අවහිර වේ

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් රාජගිරිය මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර මේ වනවිට අවහිර වී තිබේ.

එම විරෝධතා පාගමන තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර ඇති අතර අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට එරෙහිව ඊයේ (07) එම නියෝගය නිකුත් කර ඇත.

වැලිකඩ පොලිසිය විසින් එම තහනම් නියෝග ආඥාව නිකුත් කර තිබෙන අතර ඒ අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කර කර ඇත.

Trending

Exit mobile version