පුවත්

ජාතික රෝහලේ හදිසි අනතුරු විකිරණ පරීක්ෂණ නවතී

Published

on

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ සම්පූර්ණයෙන් අඩාල වී ඇතිබව වාර්තා වේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ, ක්‍රියාකාරී තත්වයේ පැවති එකම විකිරණ යන්ත්‍රය ඊයේ දහවල් බිඳ වැටීම ඊට හේතුව බවය.

මෙවැනි යන්ත්‍ර දෙකක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පැවති අතර ඉන් එක් යන්ත්‍රයක් මීට වසර එක හමාරකට පමණ පෙරාතුව සම්පූර්ණයෙන් බිද වැටුණි.

අනෙක් විකිරණ යන්ත්‍රයද ඊයේ බිඳවැටීමෙන් අනතුරුව, හදිසි අනතුරුවලට ලක්වන රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ යාබදව පිහිටි විශේෂිත ස්නායු ඒකකයේ විකිරණ යන්ත්‍ර භාවිතයෙන් සිදුකර තිබුණි.

කෙසේවෙතත්, එම එම යන්ත්‍රය ද ඊයේ දිනයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇත.

එබැවින් මේ වනවිට හදිසි ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් ජාතික රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ පිහිටි විකිරණ පරීක්ෂණ අංශය වෙත යොමුකරන බව සඳහන්ය.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමය කියා සිටියේ, හදිසි අනතුරු ඒකකය සතුව පැවති බිඳ වැටුණු විකිරණ යන්ත්‍ර දෙක වසර 20කට වඩා පැරණි බවය.

Trending

Exit mobile version