Connect with us

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

පුවත්

තීරුබදු අඩු කරගන්න බැරි වුණේ අහංකාරකම හින්දා

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ ආනයන සඳහා වන තීරුබදු සියයට 30කින් ඉහල නැංවීම රජයේ නියෝජිතයින්ගේ දුර්වල හා ආත්මාර්ථකාමී සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පෙළපොත් විශේෂඥයින්, සැබෑ ලෝකයේ සංකීර්ණ සාකච්ඡා සඳහා යොමුකිරීමේ අයහපත් ප්‍රතිඵල මින් පෙන්නුම් කෙරෙන බව විපක්ෂ නායකවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන

Published

on

By

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ ඒකාබද්ධ සැලැස්මක සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පිළිබඳව ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ඊයේ (09) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා විසින් මෙලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙම වැඩසටහන, ඊට අදාළ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන මගින් ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ.

මෙහිදී, මෙවර අයවැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දීම, එම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම, මෙම වැඩසටහන අදාළ රේඛීය ආයතන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට විද්‍යාත්මක පසුබිමක් සහිත නව මොඩලයක් සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා විය. එම කරුණුවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කිරීමේ සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත සකස් කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, අතිරේක ලේකම්  එච්.ඒ.හේමා පෙරේරා,  සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වරුණි රසාදරි, ප්‍රජා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමාලගේ සහ රිජ්වේ ආර්යා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සංතුශිත සේනාධිපති යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කරයි

Published

on

By

හැටන් – සිංගිමලේ ජාලාශයෙන් ජලය ලබා ගැනීම ජල සම්පාදන මණ්ඩලය විසින් තාවකාලිකව නතර කර තිබේ.

ඒ සිංගිමලේ ජලාශයට පාසල් සිසුවෙකු වැටී ජීවිතක්ෂයට පත්වීමත් සමගය.

එම සිද්ධියෙන් පසු අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුලු පිරිසක් අද එම ජලාශ පරීක්ෂාවක යෙදී ඇති බව සඳහන්ය.

අනතුරුව සිදුකළ පරික්ෂාවකදී අනාවරණය වී ඇත්තේ දැනට සිංගිමලේ ජලාශයේ ජලය පානය සදහා සුදුසු නොවන බවටය.

එතෙක් වෙනත් ජල මූලාශ්‍රයකින් ජලය ලබා ගෙන පිරිපහදු කොට පාරිභෝගිකයන්ට සීමා සහිතව පානීය ජලය නිකුත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

පසුගිය 09 වනදා සිංගිමලේ ජලාශයට වැටීමෙන් 18 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved