Connect with us

පුවත්

ට්‍රම්ප්ගේ තීන්දුවෙන් USAID මෙරට කාර්යාලයත් වසා දමයි ; සෝෂල් මීඩියාත් නතර වෙයි

Published

on

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය පරිදි ‘‘ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID’’ මෙරට කාර්යාලයද වසා දැමීම හේතුවෙන් එහි ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක රුපියල් බිලියන ගණනක ව්‍යාපෘති රැසක් නතරවීමේ අවදානම් තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදුන් විධායක නියෝගයට අනුව USAID ඇතුළු විදෙස් ව්‍යාපෘති දින 90 ක කාලයකට නතර කර තිබේ. මේ වනවිට USAID ආයතනයේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාලා ගිණුම් රැසක් ක්‍රියාවිරහිත කර ඇතැයිද බී.බී.සී සිංහල පුවත් සේවය සඳහන් කරන්නේය.

“ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID)“ විසින් මෙරට විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් (රුපියල් බිලියන 350) ලබාදී ඇතැයි අනාවරණය වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ 1961 වසරේ සිට මෙරට තුළ කෘෂි කාර්මික, අධ්‍යාපන, සෞඛ්‍ය, පළාත් පාලන, ස්වභාවික සම්පත් කළමනාකරණය, පුද්ගල ජීවනෝපාය සංවර්ධන, මානව හිමිකම්, ලිංගික සංක්‍රාන්තික ආදී විවිධ වැඩසටහන් සඳහා මූල්‍යාධාර සැපයීම සිදු කෙරිණි. 

එම වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබුවේ රාජ්‍ය නොවන සංවිධාන විසිනි.

USAID ආයතනයේ කටයුතු අත්හිටුවීමට ගෙන තිබෙන තීරණයත් සමග මෙරට ක්‍රියාත්මක වන එහි ව්‍යාපෘති අතරමග නැවතීමේ අවදානමක් සේම එම ව්‍යාපෘතිවල සේවයේ නිරත විශාල පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානම් තත්ත්වයක්ද උද්ගතව තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය යටතේ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම් ලෙස පත් කරන ලද මාර්කෝ රුසියෝ ඉකුත් සඳුදා ජාත්‍යන්තර සී.එන්.එන්. පුවත් සේවය සමග පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා ඇත්තේ USAID ආයතනය එම දෙපාර්තමේන්තුවේ පාලනය යටතට ගෙන තිබෙන බවත්, එහි පරිපාලක නිලධාරියා ලෙස තමා පත්කර තිබෙන බවත්ය.

එමෙන්ම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිලියනපති එලෝන් මස්ක් විසින් USAID ආයතනය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවට ප්‍රකාශයට පත්කර ඇතැයිද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා සී.එන්.එන්. පුවත් සේවය හමුවේ කියා සිටියේය.

මේ අතර, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකානු කොංග්‍රසයට ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ USAID ආයතනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට අවශ්‍ය නම් එය සිදු කිරීමටත්, එම ආයතනය ප්‍රතිසංවිධානය කර ඇමරිකානු ජාතික ප්‍රතිපත්ති දෙසට නැඹුරු කිරීමට කටයුතු කරන බවය. 

මේ අනුව, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට කොංග්‍රසය සමග සාකච්ඡා කර USAID ආයතනයේ සමහර කොටස් එම දෙපාර්තමේන්තුවට සම්බන්ධ කිරීමට නියමිතය. 

මෙම ආයතනයේ ක්‍රියාකාරකම් ඇමරිකානු සහ ජාත්‍යන්තර ප්‍රතිපත්ති සමග එකට බැඳිය යුතු බවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා පවසා තිබේ.

USAID ආයතනය විසින් ඉකුත් 2023 වසරේදී ලොව පුරා රටවල් රැසකට ඇමරිකානු ඩොලර් බිලියන 72 ක ආධාර සපයා ඇත. 

එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර වැඩසටහනට 42% ක්ම ආධාර සපයා ඇත්තේද මෙම ආයතනය විසිනි.

වයඹ විශ්වවිද්‍යාලයයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බී.බී.සී. සිංහල පුවත් සේවයට සඳහන්කර ඇත්තේ ඇමරිකාව විසින් විදේශ රටවලට ලබාදෙනු ලබන ආධාර අත්හිටුවීමත් සමග මෙරට ග්‍රාමීය මට්ටමේ ජනතාවට එයින් ඇති වන බලපෑම විශාල බවය.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා “X” සටහනක් මගින් සඳහන්කර ඇත්තේ ශ්‍රී ලංකාව පමණක් මෑත වසරවලදී USAID වෙතින් ඩොලර් මිලියන ගණනක අරමුදල් සහ ප්‍රතිපාදන ලබාගෙන තිබෙන බවත්, රාජ්‍ය නොවන සංවිධාන 100 කට අධික සංඛ්‍යාවක් මෙම අරමුදල්වල සෘජු ප්‍රතිලාභ ලබාගත් බවත් ය.

මෙම අරමුදල් ප්‍රයෝජනයට ගත් ආකාරය පිළිබඳ පැහැදිලි වාර්තා නොමැති බවද මන්ත්‍රිවරයා කියා සිටී.

USAID යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති සහ ප්‍රදානයන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, ඉන් ප්‍රතිලාභ ලැබූ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන්කර ඇත.

සබැඳි පුවත්

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading

පුවත්

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

Published

on

By

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව අද දින (30) ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

Continue Reading

පුවත්

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය ක්‍රමයක්

Published

on

By

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රක් ටොන් 25කට යටත්වන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සපූපකාර සමිති ය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ මෙම ණය ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බවය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 07%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස පහත සඳහන් බැංකු තෝරාගෙන තිබේ.

• ලංකා බැංකුව
• මහජන බැංකුව
• ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
• හැටන් නැෂනල් බැංකුව
• සෙලාන් බැංකුව
• සම්පත් බැංකුව
• කොමර්ෂල් බැංකුව
• ඩී.එෆ්.සී.සී බැංකුව
• ජාතික සංවර්ධන බැංකුව
• නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
• සණස සංවර්ධන බැංකුව
• අමානා බැංකුව
• කාගීල්ස් බැංකුව
• පෑන් එෂියා බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6,500ක් පමණ වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණයයෝජනා ක්‍රමය 2025 ජූලි මස 01 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව, පසුගිය 2024/25 මහ කන්නයේදී මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 6,850ක පමණ ණය අරමුදල් වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ලබාදෙන දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved