පුවත්

ඩයනා අත්අඩංගුවට නොගන්නැයි උසාවියෙන් නියෝග

Published

on

ආගමන හා විගමන පනත යටතේ ගැනෙන වැරදි කළා යැයි චෝදනා එල්ල වී තිබෙන සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නියෝගයක් ලබා නොදීමට අධිකරණය ඊයේ (24) තීන්දු කළේය.

ඊට අදාළ පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බවත්, ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා උපදෙසක් දෙන අයුරක් අධිකරණයට පෙනී නොයන බවත් අවධාරණය කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අදාළ නඩුව දින නියමයක් නොමැතිව බහා තැබීමටද තීරණය කළේය.

සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මෙරට පුරවැසිභාවයක් නොමැති තැනැත්තියක් හෙයින් ඇය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිලිකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඕවල හේරත් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න කරන ලද ඉල්ලීමකට අදාළ තීන්දුව ලබාදෙමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියේදී පොලිසිය තම රාජකාරිය නිසි පරිදි ඉටුකිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඩයනා ගමගේට එරෙහිව අධිකරණයෙන් වරෙන්තුවක් නිකුත් කිරීමට අවශ්‍ය නොවන බවද විවෘත අධිකරණයේදී අවධාරණය කළේය.

(අරුණ)

Trending

Exit mobile version