පුවත්

ඩයස්පෝරාවේ රෝයි, ඇමති විජේ හා හේමරතන හිමි අතර සාකච්ඡාවක්!

Published

on

දෙමළ ඩයස්පෝරාව හා සාමය සංහිඳියාව අගයන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ඒකාබද්ධ කර පුළුල් ජාතික සන්ධානයක් ගොඩනැගීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එහි මූලික පියවර වශයෙන් ඊළාම් මතවාදයට එරෙහි දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් සහ මහා සංඝරත්නය අතර සංහිඳියාව ගොඩ නැගීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක බවද පැවසේ.

මෙරට සංවර්ධන කටයුතු සඳහා ද දෙමළ ඩයස්පෝරාවේ සහාය ලබා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

කැනඩාවේ ජීවත් වන දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන රෝයි සාමදානම්, අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ සමග අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ජාතික සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ පිළිබඳ ඉකුත්දා මූලික සාකච්ඡාවක ද නිරත වී තිබේ.

‘‘මෙරට මහා සංඝරත්නය ජාතික සංහිඳියාව ගොඩ නැගීමේ කාර්යය සඳහා රජ කාලයේ පටන් කටයුතු කළා. දෙමළ ඩයස්පෝරාව හා සාමය සංහිඳියාව අගයන විදේශයන්හි වෙසෙන සෙසු අයටත් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස ආරාධනා කරනවා. ඒ සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් සපයනවා.’’ යැයි අටමස්ථානාධිපති හිමියෝ එහි දී අවධාරණය කළහ.

දේශපාලන මැදිහත්වීම්වලින් තොරව මෙරටට ආදරය කරන පුරවැසියන්ගේ අයිතීන් රැක ගැනීම සඳහා කෙරෙන කටයුතු වෙනුවෙන් තමාගේ පූර්ණ දායකත්වය ලබා දෙන බවද උන්වහන්සේ පැවසූහ.

‘‘මෙරට යුද ගැටුම් පැවති සමයේ විශාල ජනතාවක් රට හැර ගියා. නැවත එවැනි ගැටුම් ඇතිවීම වළක්වා ගනිමින් සමගියෙන් ජීවත්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගත යුතුයි’’ යනුවෙන් දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන ක්‍රියාකාරී රෝයි සාමදානම් අවධාරණය කළේය.

Trending

Exit mobile version