Connect with us

පුවත්

යෝෂිතට ඇප (UPDATE)

Published

on

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා මෙම නියෝගය නිකුත් කළේය.

(පෙර පුව​ත: 2025 ජනවාරි 27, පෙ.ව.10:12)

යෝෂිතව අධිකරණයට රැගෙන එයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වන  විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පෙරේදා බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතා අද (27) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් යෝෂිත රාජපක්ෂ මේ වන විට අධිකරණයට රැගෙන විත් තිබේ.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඇතුළු රජයේ නීතිඥවරු පිරිසක් පෙනී සිටී.

(පෙර පුව​ත: 2025 ජනවාරි 27, පෙ.ව.7:14)

ඩේසි ආච්චිට රත්මලානේ ගේ ගන්න උදව් කළ යෝෂිත අද අධිකරණයට

රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සහ නිවසක් රුපියල් ලක්ෂ තුන්සිය හතළිහකට මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරන පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ අද (27) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් පරිදි පෙරේදා (25) දක්ෂිණ අධීවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේදී අත්අඩංගුවට ගත් සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මියගේ ගේ නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (27) දක්වා රිමාන්ඩ් බාරයට පත්කර තිබිණි.

සැකකරු අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි නිවසක් සහ ඉඩමක් රුපියල් ලක්ෂ තුන්සිය හතළිහකට මිලදී ගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂව සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි පොරස්ට් නැමැත්තියට එරෙහිව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් සිදුකළ බවයි.

එම විමර්ශනයට අදාළව සැකකරුවකු ලෙස නම් කිරීමට ප්‍රමාණවත් සාක්කි තිබෙන බවට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් පරිදි සැකකාර යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගත් බව දන්වා සිටියහ. 

සැකකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් නීතිඥ මඬුල්ලක් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් දන්වා සිටියේ 2016 වසරේදී ආරම්භ කළ විමර්ශනයට අදාළව තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

එම සිද්ධියට අදාළව විමර්ශන ගොනුව නීතිපති උපදෙස් පතා යොමුකර ඇත්තේ 2017 වසරේ ජනවාරි මාසයේදී බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයා සැකකරුවකු ලෙස පත්කරමින් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇත්තේ වසර අටකට පසුව බවද දන්වා සිටියේය. 

මෙම නඩුවේ ප්‍රධාන සැකකාරිය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබෙන ඩේසි පොරාස්ට් නැමැත්තිය අධිකරණය මගින් නිකුත් කළ නොතිසියකට අනුව 2016 වසරේදී පෙනී සිටි බවත් එහිදී ඇයට ඇප ලබාදුන් බවත් දන්වා සිටියේය. 

නමුත් තම සේවාදායකයා වන යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සිද්ධියට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීම යටතේ බව පෙන්වා දුන් ජනාධිපති නිතිඥ සම්පත් මෙන්ඩිස් එලෙස අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් බාරයට පත්කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ කුමන පදනමින් ද යන්න පිළිබදව ප්‍රශ්න කළේය. 

ඒ අනුව සැකකාර යෝෂීත රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය. 

සැකකරු ඇප මත මුදාහැරීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය ඔහු අද (27) තෙක් රිමාන්ඩ් බාරයට පත්කරන ලෙසත් එදිනට විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

පුවත්

අභියාචනාධිකරණ විනිසුරු පත්වීම් 02කට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Published

on

By

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ නිර්දේශ මත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යොමු කරන ලද එම නාමයෝජනා සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන් අභියාචනාධිකරණයේ විනිසුරුවැන් ලෙස පත් කිරීම සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට සිදුකළ යෝජනාව ව්‍යවස්ථා සභාවේ දී සලකා බලා නොමැති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු අසුනක් තවමත් හිස්ව නොතිබීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් සිදුකර තිබූ නාම යෝජනාව ආණ්ඩු පාර්ශවය විසින් ඉල්ලා අස්කරගෙන ඇති බව සඳහන් වේ.

පසුගිය මාර්තු මස 11 වනදා ද අභියාචනාධිකරණය සඳහා නව විනිසුරුවරුන් තිදෙනෙකු පත්වීම් ලැබීය.

(අද දෙරණ)

Continue Reading

පුවත්

ජර්මනියේ නිල සංචාරයෙන් පසුව ජනපති යළි දිවයිනට

Published

on

By

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

මෙම නිල සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier), ජර්මානු විදේශ අමාත්‍ය ජොහාන් වඩෆුල් (Dr. Johann Wadephul) සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) යන මහත්ම මහත්මීන් හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය. එහිදී  රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථික, ආයෝජන සහ වෘත්තීය පුහුණු ආදී ක්ෂේත්‍රයන්හි දෙරටේ සහයෝගීතාව පුළුල් කෙරෙන නව මාර්ග පිළිබඳව සොයා බැලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මීට අමතරව, ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ හමුවකටද සහභාගී විය.

ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් එම සංගම් මුලස්ථානයේදී (DIHK) සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සංසදයට සහභාගී වූ ජනාධිපති අනුර දිසානායක මහතා එහි ප්‍රධාන දේශනයද සිදු කළේය.

ජනාධිපතිවරයා සිය නිල සංචාරය අතරතුර ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමටද කටයුතු කළේය.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරටට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිසක්, දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිබේ.

ඔවුන් මෙරටට පැමිණ තිබුණේ කටාර් ගුවන් සේවයට අයත් QR 662 දරණ ගුවන් යානයෙනි.

සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම:ණය සහ පාලනය” මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගිවනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති මෙම අවස්ථාවේ දී පැවැත්වෙන මෙම සමුළුවේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිත ය.

මෙම සංචාරයේ දී, ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳ ව  ශ්‍රී ලංකා බලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් සමග සාකච්ඡා පැවැත්වීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකර අධ්‍යක්ෂිකාව අපේක්ෂා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved