Connect with us

පුවත්

ඩොලර් ගේන්න බැරි වුනේ මහින්ද – ගෝඨා කාලේ ඉඳන් තීන්දු තීරණ ගන්න නිලධාරීන් නිසා – මනූෂ

Published

on

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නුවරඑළි ප්‍රාදේශීය කාර්යාලය පසුගිය 07දා විවෘත විය.

ඒ, විදේශ ගත ශ්‍රමිකියන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සේවාවන් සැපයීම සදහා දෙමළ මාධ්‍යයෙන් කටයුතු කළ හැකි කාර්යාලයක් ලබාදෙන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය යෙදී තිබුණ පසුගිය 18දා කළ ඉල්ලීම අනුව 2024 වසර ආරම්භ කර දින 7ක් ඇතුළත නුවරටළියට ප්‍රාදේශීය කාර්යාලයක් ලබාදෙන බවට දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කරමිනි.

සිය ඉල්ලීම් ඉටු කිරීම සම්බන්ධයෙන් විදේශ ගත ශ්‍රමික පවුල්වල දරුවන් නාට්‍යයක් රඟ දක්වා අමාත්‍යවරයාට සිය කෘතඥතාවදය පළ කළේය.

නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කළ අමාත්‍යවරයා එම කාර්යාලයේ ලියාපදිංචිය ලැබ පළමුව විදේශගත වන ශ්‍රමිකයා සදහා කාර්යාංශයේ ලියාපදිංචියද එම අවස්ථාවේදීම ලබාදුන්නේය.

නුවරඑළියේ ජනතාවට, නුවරඑළියේ ඊළග පරම්පරාවට වැඩ කළ යුතු වන්නේ ඡන්ද බලාගෙන නොවන බවත්, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවයන් ඉටු කිරීම සදහා වන බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය. ජාත්‍යන්තර සංකමණිකයින්ගේ දිනය යෙදී තිබුණ දෙසැම්බර් 18 වැනිදා පැවති උත්සවයකදී විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් කළ ඉල්ලීම් පහෙන් හතරක් ඉටු කර ඇති බවත්, නුවරඑළියට දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දිස්ත්‍රික් කාර්යාලයක් ලබාදුන්නේ ඒ අනුව වන බවත් මනුෂ නානායක්කාර මහතා සදහන් කළේය. තමන් දරුවන්ට දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කිරීම සදහා කැපවී කටයුතු කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කළේය. ඔවුන්ගේ පස්වැනි ඉල්ලීම වන ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ඔහු විශ්වාසය පල කළේය.

නුවරඑළියට පැමිණි විට සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කළ බවද, යාපනයට ගිය විට දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය. උත්සවයේ ප්‍රදර්ශනය කළ වීඩියෝ දර්ශනවලින් සියයට 95ක්ම දෙමළ භාෂාවෙන් විකාශය කළ බවද සිංහල පමණක් දන්නා අයගෙන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. එහෙත් රටේ සිදුවන හැම දේම සිංහල භාෂාවෙන් පමණක් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජනතාවගෙන් කවදාවත් සමාව ඉල්ලා නොමැති බවද ඇමැතිවරයා සිහිපත් කළේය.

ජාතීන් බෙදූ සියලුම දේශපාලඥයින්ට සාප වෙනවා

සිංහල රාජ්‍ය භාෂාව කරලා ජාතීන් බෙදා වෙන් කළ සියලුම දේශපාලඥයින්ට සාප වන බව පැවසූ මනුෂ නානායක්කාර මහතා ඒ බෙදීම නිසා අද දිනයේදී තමන්ට දෙමළ භාෂාවෙන් වචන කිහිපයක් කතා කිරීමට නොහැකිවී ඇති බවද කීවේය. දැන් ඉතිහාසයට චෝදනා කරමින් නොසිට අනාගතයේ සිටින පුංචි දරුවන් වෙනුවෙන් හෝ රට ගොඩ නැගිය යුතු බවද ඇමැතිවරයා සදහන් කළේය. දේශපාලඥයින් ගැනීමට අකමැති, ජනප්‍රිය නොවන තීන්දු වන බදු වැඩි කිරීම්, වැටුප් කප්පාදු කිරීම් කරමින් දැවැන්ත වෙනසක් මේ වන විට ඉටු කරමින් යන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතමින් බවද ඔහු පැවසුවේය. අනාගතය දකින නායකයාගේ අඩි පාරේ යමින් තමන්ද නුවරඑළියට පැමිණ තීන්දු තීරණ ගත් බවද ඇමැතිවරයා කීවේය.

ජනපති කිව්වත්, නිලධාරීන්ගෙන් බාධා

ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක් වන ලෙසට විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමට කටයුතු කර ඇති බවද, පසුගිය වසරේදී රටට ගෙනා ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න වන බවද අමාත්‍යවරයා කීවේය. ඩොලර් බිලියන 6 සීමාව පසු කර යාමට අවශ්‍ය වන්නේ තවත් ඩොලර් මිලියන 30ක් පමණක් බවද, එම ඩොලර් මිලියන 30 ගෙන්වා ගැනීමට නොහැකිවූයේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හදන නිලධාරීන් නිසා බවද අමාත්‍යවරයා කීය. මේ සදහා අවශ්‍ය ගැසට් නිවේදනය ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කළත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා ප්‍රකාශ කළත්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේදීත් තීන්දු තීරණගත් නිලධාරීන් අදත් සිටිමින් ඩොලර් මිලියන හයෙන් නතර කළ බවද මනුෂ නානායක්කාර මහතා කීවේය. ඒ සදහා ඔවුන් වගකිව යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

වතුකරයේ වැටුප් වැඩිවීම ගැන තීන්දුව මේ මස

වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන තීන්දුව ජනාධිපතිවරයා විසින් මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

ග්‍රාම නිලධාරී කාර්යාලයක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ආරම්භ කිරීමට මන්ත්‍රීවරුන් හත් අට දෙනෙක් එක්ව වසර පහලොවක් විස්සක් උත්සාහ කරන තත්වයක් තුළදී දින කිහිපයක් තුළදී නුවරඑළියට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදීම සම්බන්ධයෙන් මනුෂ නානායක්කාර පිළිබද තමන් ආඩම්බර බවද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේය.

නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරිමට සමගාමීව විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, විගමණික ශ්‍රමිකයින් ව්‍යවසායකයින් බවට පත් කිරීම සදහා සහාය ලබාදීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක විය.

මේ අවස්ථාවට අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ලාල් සමරසේකර, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ආර්. පී. කේ. නන්දන මහතා ඇතුලු මහජන නියෝජිතයෝද එක්ව සිටියහ.

පුවත්

ජනපති විවෘත කළ කාගම හිමිගේ තෙමහල් ධාතු මන්දිරේ හොරු බිඳලා

Published

on

By

ගල්කිරියාගම ප්‍රදේශයේ විහාරස්ථානයක අභිනවයෙන් ඉදිකළ තෙමහල් ධාතු මන්දිරය බිඳ එහි කරඬුව තුළ තැන්පත් කර තිබූ මැණික් ගල් රැසක් හා මුදල් සොරකම් කරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සොරුන් විසින් මෙලස බිඳ ඇත්තේ ගල්කිරියාගම පහමිණියාගම සිරිසදහම් විහාරයට අයත් අභිනව තෙමහල් ධාතු මන්දිරයයි.

මේ ධාතු මන්දිරය විචිත්‍ර ධර්ම කථික කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනගන ලද එකක් වන අතර උන්වහන්සේ වැඩ වසන විහාස්ථානය ද මෙය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණිල්ලක් අනුව ගල්කිරියාගම පොලිසිය මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

පෙරේදා (07) රාත්‍රියේ පැමිණ ඇති කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු ධාතු මන්දිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුළුව ඇති බව පොලිසිය කියා සිටියි.

තෙමහල් ධාතු මන්දිරයට ඇතුළු වූ සොරුන් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬුන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එම සොරකම සිදුකර ඇති බව හෙළිවී ඇත.

කරඬු වහන්සේගේ තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 19ක් එම සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබේ.

එම ධාතු මන්දිරය තුළ වූ පිං පෙට්ටිය ද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල් තොගයක් ද සොරකම් කරගෙන ගොස් ඇත.

සොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති මෙම අභිනව තෙමහල් ධාතු මන්දිරය ඉකුත් මැයි මස 30 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත වූවකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් මේ වනවිටත් පුළුල් විමර්ශන හා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද මේ අතර වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

හොර පා පැදි 170ක් සමඟ අයෙක් අල්ලයි

Published

on

By

සොරකම් කරන ලද පා පැදි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් අනුව මට්ටක්කුලිය, රාවතාවත්ත පාර ප්‍රදේශයේදී අදාළ වැටලීම සිදු කර තිබිණි.

එම වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 600ක්ද සොයා ගත් බවයි කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියා සිටී.

ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහුගේ නිවසේ තිබී අනන්‍යතාව තහවුරු කරගත නොහැකි පා පැදි 170ක් සොයා ගත් බවද කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සඳහන් කළේය.

හතලිස් පස් හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. 

Continue Reading

පුවත්

අත්අඩංගුවට ගත් අනුරාධපුර සහකාර බන්ධනාගාර කොමසාරිස් අද අධිකරණයට

Published

on

By

අනුරාධපුර බන්ධනාගාරයේ සහකාර කොමසාරිස්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළවය.

රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අදාළ අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා තිබේ.

ඒ අනුව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකු ඉකුත් මැයි 12 වැනිදාට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදාහැර ඇති බව පැවසේ.

බන්ධනාගාර අධිකාරිවරයාගේ එම කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය අදාළ විත්තිකරුව නිදහස් කර මුදා හරින ලෙස නියෝගකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර අනුරාධපුර බන්ධනගාර අධිකාරිවරයා අද (09) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved