Connect with us

පුවත්

“තමුන්නාන්සේලාට කොකේන් ගහන්න නෙමෙයි  රටේ මහජනතාවගේ බදු මුදල් තියෙන්නේ” (වීඩියෝ )

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අද(21) පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ තරුණ සේවා සභාවේ සභාපතියි, ඇමතියි දෙන්නා මාරුවෙන් මාරුවට තමන්ගේ සමාගම් දෙකට තමයි මුදල් වියදම් කල බවය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ,

“හරීන් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර උසාවිය හරහා මේ පාර්ලිමේන්තුවෙන් ඉවත් කරා. ඉවත් කරේ නැතිනම් මේක මූණට මූණතියලා අපිට කතා කරන්න තිබුණා. මොකක්ද මේ දෙන්නා පහුගිය කාලේ කරේ. 

මම ඉතාම පැහැදිලිව කිව්වා ගරු සභාපතිතුමනි, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගිහිල්ලා හරින් ප්‍රනාන්දු ස්මාර්ට් ශ්‍රී ලංකා (SMART Sri Lanka) කියලා වැඩසටහනක් පටන් ගත්තා. ජනාධිපතිවරයා පසුගියදා රුපියල් කෝටි 875ක් පරිපූරක ඇස්තමේන්තුවකින් වෙන් කර ගත්තා. ඒ වෙන් කරගෙන හරීන් ප්‍රනාන්දුගේ  අමාත්‍යංශයට රුපියල් ලක්ෂ 8000 වෙන්කරලා දුන්නා. මොකක්ද මෙයා මේකෙදි කරේ.  

පහුගිය 2024 අප්‍රේල් අවුරුදු උත්සව පවත්වන්න රුපියල් ලක්ෂ 300 යි. 2024 මැයි වෙසක් උත්සවයට රුපියල් ලක්ෂ 450 යි. මහරගම වෙසක් කලාපයට රුපියල් ලක්ෂ 100යි. දිවයින පුරා SMART YOUTH NIGHT කියල මෙයා සංගීත ප්‍රසංග පවත්වාගෙන යනවා. වේදිකාවට ලක්ෂ 80යි. සංගීත කණ්ඩායමට ලක්ෂ 25යි. කලාකරුවන්ට ලක්ෂ හතළිහයි. 

එදා නෙළුම් කුළුන ළඟට තරුණ තරුණියෝ ගෙනල්ලා එතන අරක්කු ඒ වගේම බියර්, ඒ වගේම තමයි මත්පැන් එතන අලෙවි කරන්න සැලැස්සුවා. තරුණ සේවා සභාවේ ළමයින්ට ඒවා කරන්න පුළුවන්ද. 

සමහර ඇමතිලා කොකේන් ගහන බව අපි දන්නවා. හරීන්ලට අපි කියනවා තමුන්නාන්සේලාට කොකේන් ගහන්න නෙමෙයි මේ රටේ තරුණ තරුණයින්ගේ අහිංසක දුප්පත් මහජනතාවගේ බදු මුදල් තියෙන්නේ. අද දෙවේලක් කන්න බැරි පවුල් ඉන්නවා ලක්ෂ 50ක්. කොකෙන් ගහන්න ඇමතිලට ජවුසන් නටන්න ඇමතිලට මේ විදියට මුදල් කාබාසිනියා කරන්න දෙන්න බෑ. හරීන්ට අපි කියනවා එළියේ ඉඳන් පුළුවන් නම් මේ වගේ තරුණ ජනයා මත්ද්‍රව්‍යවලට යොමු කරපු තමුන්නාන්සේ කතා කරන්න කියලා මං කියනවා.”

පුවත්

පළාත් ආයතන 263ක සභාපති පත් කරන්න ඡන්ද තියන්න වෙලා

Published

on

By

දැනට ක්‍රියාත්මක වන පළාත් පාලන මැතිවරණ පනත අනුව මෙවර පළාත් පාලන ඡන්දයෙන් සියයට පනහක බහුතරයක් නොලැබූ පළාත් ආයතන 263කම සභාපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද පැවැත්වීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

අවසන් මැතිවරණ ප්‍රතිඵලය අනුව පළාත් පාලන ආයතන 339 න් සියයට 50 ඡන්ද ප්‍රතිශතය ඉක්මවා ඇත්තේ පළාත් පාලන ආයතන 76 ක පමණක් බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය ද (BBC) වාර්තා කර තිබේ. 

එබැවින් සෙසු පළාත් පාලන ආයතන 263 ම සභාපතිවරුන් තෝරා ගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කයේ පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් ඡන්දයක් පැවැත්වීමට සිදුවනු ඇතැයි පැවසේ. 

එහිදී නාමයෝජනා කැඳවා එක් නාමයෝජනාවකට වඩා ඉදිරිපත් වුවහොත් යම්කිසි අපේක්ෂකයකු සියයට 50 ක් ඡන්ද ලබා ගන්නා තෙක් ඡන්දය පැවැත්විය යුතු බව පළාත් පාලන මැතිවරණ පනතේ සඳහන්ය.

පළාත් පාලන ආයතනයක සභාපතිවරයා තෝරා ගැනීම සඳහා එම ආයතනයේ සභිකයන්ගේ කැමැත්ත පරිදි රහස් ඡන්දයක් පැවැත්වීමටද අවසර ඇති බව සඳහන්ය.

අවසන් ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ආයතන 265 කද සමගි ජන බලවේගය ආයතන 14 කද ජය හිමි කරගෙන තිබේ. 

දෙමළ ජාතික සන්ධානය ද සෙසු ස්වාධීන කණ්ඩායම් ද ඉතිරි ආයතන ජයගෙන ඇත. 

එහෙත් ඕනෑම ආයතනයක සභාපති ධුරයට පත්විය හැක්කේ බහුතර මන්ත්‍රීන්ගේ එකඟතාවයෙනි.

Continue Reading

ඡායාරූප සටහන

රාජ්‍ය වෙසක් මහෝත්සවය ජනපති සහභාගිත්වයෙන් (ඡායා)

Published

on

By

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (10) නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි.

“භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) තේමාව යටතේ පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය  මැයි මස 10 වන දා සිට 16 වන දා දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසනා පරිදි, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ  බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කර තිබේ.

එමෙන්ම මැයි මස 10වන දින සිට 16වන දින දක්වා වෙසක් සතියක්  ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට අනුගතව ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනය ඇති කිරීම වෙනුවෙන් විවිධ බෞද්ධාගමික වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර මෙම කාල සීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට වැඩ නිම නොවූ විහාරස්ථානවල සංවර්ධන කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව අවසන් කිරීමටද පියවර ගෙන තිබේ.

එසේම රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව ජනතාව තුළ අධ්‍යාත්මික සංවර්ධනයක් සහ බෞද්ධාගමික ප්‍රබෝධයක් ඇති කිරීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින්ද විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත.

බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයක් සහිත නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කිරීම විශේෂත්වයක් වන අතර රට පුරා බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීම මෙන්ම ලෝකයේ බෞද්ධ රටවල් සමඟ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ අරමුණු වේ.

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරුණු අතර එහි පළමු සමරු මුද්දරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.

එමෙන්ම, 2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී, සෝමාවතී රජමහා විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකාය නියෝජනය කරමින් මහා සංඝරත්නයද, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක හිමිපාණන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී  පූජ්‍ය මුගුණුවල අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා සංඝරත්නයද, සර්ව ආගමික පූජකවරුන්ද,  කථානායක ජගත් වික්‍රමරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහුද, විදෙස් නියෝජිතයන් ඇතුළු දෙස් විදෙස් සැදැහැවත් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ඉන්දියාව – පාකිස්තානය සටන් විරාමයකට එකඟ වෙයි

Published

on

By

ඉන්දියාව සහ පාකිස්තානය වහාම පූර්ණ සටන් විරාමයකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර තිබේ.

‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා ඇත.

මෙම සටන් විරාමට ඉන්දීය වේලාවෙන් අද ප.ව. 5.00ට ඇරඹුනු බව එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් – වික්‍රම් මිස්රි මහතා පවසා ඇත.මේ අතර, ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් මහතා හා පකිස්තානු නියෝජ්‍ය අගමැති – ඉෂාක් ඩර් මහතා ද මේ බව තහවුරු කරමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved