Connect with us

පුවත්

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිගේ ප්‍රංශ ටුවර්එක ගැන පරීක්ෂණයක්!

Published

on

තල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ප්‍රංශයේ දින 23ක සංචාරයක් සඳහා එම මණ්ඩලයේ රුපියල් ලක්ෂ 19කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැවිලි අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇත.

එම මණ්ඩලයේ සභාපතිවරයා සිය අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයාට ඊයේ (01) භාරදී ඇතැයිද අනාවරණය වේ.

හිටපු සභාපතිවරයා තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉකුත් 2020 වසරේදී පත්වීම් ලබා ඇති අතර, ඔහු ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල මෙරට තල් නිෂ්පාදන ප්‍රචලිත කිරීමට අදාළව ඉකුත් 2021 වසරේ සැප්තැම්බර් මස 04 වැනිදා සිට 27 වැනිදා දක්වා සංචාරයක නිරතවී ඇත.

මෙම දින 23ක සංචාරය සඳහා තල් සංවර්ධන මණ්ඩලයේ මුදලින් වැයකර තිබෙන මුදල රුපියල් දහනව ලක්ෂ හතළිස් නවදහස් හාරසිය පනහකි (1,949,450.00). 

ලංකාවේ නිපදවන තල් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල අලෙවිය දියුණු කිරීම, ගබඩා පහසුකම් දියුණු කිරීම, දේශීය තල් නිෂ්පාදන අලෙවි ජාලය විධිමත්ව පවත්වාගෙන යාම සඳහා නියෝජිතයකු පත් කිරීම යන කාරණා සභාපතිවරයාගේ ප්‍රංශ සංචාරයේ අරමුණවී තිබූ බවද පැවසේ.

කෙසේ නමුත්, 2021 වසරේදී සහ 2022 වසරේ අප්‍රේල් මාසය දක්වා වූ කාලය තුළදී යුරෝපීය රටවලට මෙරට තල් නිෂ්පාදන අපනයනයේ ආදායම බිංදුවක් බව අනාවරණය වී ඇත.

සභාපතිවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව ස්වකැමැත්තට ඉතාලිය, ප්‍රංශය සහ ඔස්ට්‍රේලියාව ආදී රටවල්වලට මෙරට තල් නිෂ්පාදන ප්‍රවර්ධනයට නියෝජිතයන් පත්කර ඇතත්, එම රටවලින්ද මෙරට තල් නිෂ්පාදන අපනයන ආදායම බිංදුවක් බව වාර්තා වී තිබේ. 

මෙම නියෝජිතයන් හරහා මෙරට තල් නිෂ්පාදන සඳහා ඇණවුම් නොලැබීම නිසා මෙලෙස අපනයන ආදායම බිංදුව දක්වා පහත වැටී තිබේ.

පොල්, කිතුල්, තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තල් සංවර්ධන මණ්ඩලය පාලනය වූ අතර, එම අමාත්‍යාංශයේ පරීක්ෂණ මණ්ඩලයක් විසින් කරන ලද විගණනයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත. 

අමාත්‍යාංශ ගණකාධිකාරිවරයා ඇතුළු මණ්ඩලයක් විසින් මෙම විගණනය සිදුකර තිබූ අතර එහි වාර්තාව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ලබාදී ඇත.

මෙම පරීක්ෂණ මණ්ඩලය විසින් නිර්දේශ කර ඇත්තේ සභාපතිවරයා විසින් ප්‍රංශ සංචාරය සඳහා වැය කරන ලද මුදල යළි අය කරගන්නා ලෙසය. 

මෙම මුදල හිටපු සභාපතිවරයා ගෙවා ඇත්ද යන්න පිළිබඳවද සොයා බලන ලෙස පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම්දී ඇත.

මෙරට තල් නිෂ්පාදන මධ්‍යස්ථානවල නිෂ්පාදන කටයුතු අවම මට්ටමක පවතින බවත්, මණ්ඩලය විසින් සිදුකර ඇත්තේ තල් නිෂ්පාදන සිදු කරන සමාගම්වලින් නිෂ්පාදන ලබාගෙන සුළු ලාභයක් තබාගෙන මණ්ඩලයේ අලෙවි සල්වලවල අලෙවි කර ඇති බවත් මෙම අභ්‍යන්තර විගණනයේදී හෙළිදරව් වී තිබේ.

හිටපු සභාපතිවරයාට විරුද්ධව යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන බවටද අදාළ පරීක්ෂණ මණ්ඩලය විසින් සිය වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

මණ්ඩලයේ ගිණුම් හා අනෙකුත් සාක්ෂි ගිනි තැබීමේ සිද්ධියක් පිළිබඳව මණ්ඩලයේ සේවකයකු විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද ගොනුකර ඇතැයි එම පරීක්ෂණ වාර්තාවේ දැක්වේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

අද පාර්ලිමේන්තුව (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (06) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

ජූනි මස පළමු රැස්වීම් සතියේ සිව්වැනි රැස්වීම් දිනය ලෙස අද (06) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත.

පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා කාලය වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් පස්දෙනෙකු සඳහා ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටය.

මේ අනුව අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරයන් වන ආර්. සම්බන්ධන්, කෝසල නුවන් ජයවීර, ජේ. ආර්. පී. සූරියප්පෙරුම, මාවෙයි සේනාධිරාජා සහ ඩොනල්ඩ් දිසානායක යන මහත්වරුන් වෙනුවෙන් එදින ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත්කරනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

Continue Reading

පුවත්

තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම

Published

on

By

තවත් පවුල් ලක්ෂ 4 කට ලබන මාසයේ අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන,සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවය.

සංක්‍රාන්ති කණ්ඩයට අයත් පවුල්, හාර ලක්ෂ 20000 ක අස්වැසුම ප්‍රතිලාභය පසුගිය අප්‍රේල් මාසයේ සිට නතර කෙරුණු බවද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වනවිට අස්වැසුම ප්‍රතිලාභ ලබන සමස්ත පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂ 80000 කි.

Continue Reading

පුවත්

දුම්රිය රියැදුරන් පිරිසක් අද වර්ජනයක

Published

on

By

දුම්රිය රියැදුරන් අද (06) දහවල් 12 සිට  මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්‍රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බවය.

මොරටුව, මෝදර ප්‍රදේශයේදි දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය ඊයේ (05) එම ස්ථානයේ නතර කෙරිණි.

ඒ, එය දුටු පුද්ගලයෙකු දැඩි වෙහෙසක් දරා දුම්රිය නතර කරන ලෙසට සංඥා කිරීමත් සමගය.

එම අවස්ථාවේ දුම්රිය  මාර්ගය තාවකාලික වසා දමා දැමුණි.

එසේ තිබියදී පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරි ඇති අතර සංඥාවලින් පෙන්නුම් කර තිබුණේ, බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අගවන කොළ පැහැති ආලෝකයයි.

එහිදි දුම්රිය අනතුරක් සිදුවීමට යාම වැලැකුණේ අදාළ දුම්රියේ රියැදුරුගේ විමසිලිමත් බව හේතුවෙනි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved