ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය දූෂණ-විරෝධී සම්බන්ධීකාරක රිචර්ඩ් නෙෆියු මහතා අද (08) හා හෙට දිනවල දී කොළඹ ගත කරනු ඇති බව කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
නෙෆියු මහතා ගේ දූත මණ්ඩලයට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දූෂණ-විරෝධී විශ්ලේෂක ඩිලන් එයිකන්ස් මහතා ද ඇතුළත් වනු ඇත.
කොළඹ ගත කරන කාලසීමාව තුළ නෙෆියු මහතා ආණ්ඩු පාර්ශවයේ, විරුද්ධ පාර්ශවයේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජයේ විවිධ අය හමුවීමට අදහස් කරන බවත්, දූෂණය මර්දනය කිරීම සඳහා දරන වෑයම් පිළිබඳව මෙන්ම රටේ දේශපාලන හා ආර්ථික තත්වයන් පිළිබඳ වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීමත් අනාගත සහයෝගීතා සඳහා ඇති හැකියාව පිළිබඳ ගවේෂණය කිරීමත් මෙම සංචාරයේ අරමුණ වන බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.