පුවත්

“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 

Published

on

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව කතානායකවරයා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායකවරයා අද (20) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය

උක්ත පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පහත පරිදි වේ:-

3, 42, 53, සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් ඒවා සම්මත කළ යුතු ය. එසේ වුවද එම  වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.

4 වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව සුදුසු පරිදි   සංශෝධනය විය යුතුය.

72 (1)   වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන අතර විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවය ඉවත්ව යනු ඇත. ඊට අනුරූපව, 72(2) වගන්තියද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුකූලව සංශෝධනය කළ යුතුය.

75 (3) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 4 (ඇ) ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අතර, 2/3 ක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත කළ යුතුය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවය ඉවත්ව යනු ඇත.

83 (7) වගන්තිය විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු ය. එම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන් යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවය ඉවත්ව යනු ඇත.

තවද, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ විධිවිධානවලට අනුකූලව ඉදිරිපත් කරන ලද සංශෝධනවලට යටත්ව පමණක් සරල බහුතරයකින් පනත් කෙටුම්පත නීතියක් බවට පත් කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

Trending

Exit mobile version