Connect with us

පුවත්

ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77කට “විශිෂ්ට සේවා විභූෂණ” සම්මාන

Published

on

යුද්ධයකදී නැතිවන ජීවිත නැවත ලබාදිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැතිවන ආදායම නැවත ලබා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටක දේශපාලන හා භෞමික අඛණ්ඩතාව ස්ථාවරව පැවතීම, ආර්ථික යුද්ධය ජය ගැනීමට හොඳම සාධකය බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට “විශිෂ්ට සේවා විභූෂණ” සම්මාන ප්‍රදානය වෙනුවෙන් අද (01) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති උත්සවය අමතමිනි. 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙම සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබිණි.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂී ප්‍රදානයක් වන අතර එය යුධ හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් හා නාවික, ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන් වෙත පමණක් ප්‍රදානය කෙරේ.

2019, 2020, 2021 වර්ෂවලට අදාළව යුධ හමුදා නිලධාරීන් 53 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 17 දෙනෙක් හා ගුවන් හමුදා නිලධාරීන් 7 දෙනෙක් වෙනුවෙන් මෙහිදි පදක්කම් ප්‍රදානය සිදු කෙරිණි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා “75 වන නිදහස් සංවත්සර අනුස්මරණ” පදක්කම් පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලබා දිය යුතු අයට අපි අද එය ලබා දුන්නා. ඒ වගේම 75 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් මෙම සේවා සම්මාන ලබා දෙනු ලැබුවා. අද එම පදක්කම් ලැබූ සියලු දෙනාට මම සුබපතනවා. ඒ වගේම ඔබ කළ සේවය අපි අගය කරනවා.

මෙම උත්සවය තමයි ශ්‍රී ලංකාව නිදහස ලබා 75 වසරක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන පළමු උත්සවය. ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් මේ උත්සවය පැවැත්වීමට හේතුවක් තිබෙනවා.

අපේ රටට නිදහස ලබාදුන්නේ මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ප්‍රමුඛ ඒ ජාතික නායකයන්. අද ඇතැමුන් කියනවා රටට නිකන් නිදහස ලැබුණා කියලා. නිදහස නිකන් ලැබුණේ නැහැ.

දෙවන ලෝක යුද්ධයේදී ආසියාවේ මිත්‍ර රටවලට සහයෝගය ලබා දුන් රටවල් 2ක් තිබුණා. ඉන් එකක් චීනය. අනෙක ශ්‍රී ලංකාව. එයින් සර්ව ජන ඡන්දයෙන් තේරුණු ව්‍යවස්ථාදායක් පැවතියේ ලංකාවට පමණයි.

යුද්ධය ඇති වූ අවස්ථාවේ මන්ත්‍රණ සභාවේ සභානායක ලෙස හිටපු ඩී.බී. ජයතිලික මහතාටත්, ඉන් පසුව මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාටත් දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ලබාදුන් සහාය අගය කරලා බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් (Winston Churchill) මැතිතුමා පැවසුවා එක කොන්දේසියක් මත යුද්ධයෙන් පසුව ලංකාවට නිදහස ලබා දෙනවා කියලා. ඒ තමයි පළමුව ඉන්දියාවට නිදහස ලබා දීම. ඒඅනුව තමයි අපට මේ නිදහස ලැබුණේ.

දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර රටවලට සහාය ලබාදුන් ඒ තීරණය ගත්තේ රාජ්‍ය මන්ත්‍රණ සභාව. ඒ වගේම ශ්‍රී ලංකාවේ නිලධාරීන් ස්වේච්ඡාවෙන් දෙවන ලෝක යුද්ධයට සහයෝගය දැක්වූවා.

අපි නිදහස් ලැබුවයින් පසු ඩී.එස්. සේනානායක මැතිතුමා මෙය අගය කර ඒ සේනාවන්ගෙන් අපේ ත්‍රිවිධ හමුදාව ආරම්භ කළා. අපි දෙවන ලෝක යුද්ධයට සහාය ලබා දී නිදහස ලබාගත්තා නම් එය සමරන අවස්ථාවේ අපේ ත්‍රිවිධ හමුදාවන් කළ සේවයත් අගය කළයුතුයි.

අපගේ ආරක්ෂාක හමුදාව රටේ ආරක්ෂාව සඳහා දිවි හිමියෙන් සටන්කළා. අප හමුදාව ආරම්භ කළේ ලෝක යුද්ධයකින්. එය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. දෙවැනි යුද්ධය තිබුණේ මේ රටේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවයත් ආරක්ෂා කර ගැනීමට. ඒ සඳහා අපේ ත්‍රිවිධ හමුදාව දිවි හිමියෙන් කැප වුණා.

ජනරජයක් ලෙස රටේ නිදහස සමරන අවස්ථාවේ දී අපේ ආරක්ෂක හමුදාව ඉටු කළ මෙම උදාර සේවය සිහිපත් කළ යුතුයි. ඒ නිසා මම තීරණය කළා 75 වන නිදහස් සැමරුමේ පළමු උත්සවය ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පැවැත්වීමට.

අපගේ ත්‍රිවිධ හමුදාව දැන් ලංකාවේ පමණක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ලෙසත් කටයුතු කරනවා. මේ සාම සාධක හමුදාවට බඳවා ගන්නා පිරිස අනාගතය දී වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අප පනස් වන නිදහස සැමරුවේ රටේ යුද්ධයක් තිබිය දී. දැන් තවත් යුද්ධයක් තියන අවස්ථාවක තමයි අපි 75 වන නිදහස් උත්සවය සමරන්නේ. ඒ අපි තුවක්කු අරගෙන, එකිනෙකා සමග ගැටුම් ඇතිකරගෙන කරන යුද්ධයක් නෙවෙයි. විශාල ආර්ථික යුද්ධයකට අද අපි මුහුණ දී තිබෙනවා.

අද සම්පුර්ණයෙන්ම රටේ ආර්ථිකය කඩා වැටී තිබෙනවා.අප ඒ ආර්ථිකය යළි ගොඩනගන්නේ නැත්නම්, අපි මේ ණය උගුලෙන් නිදහස් වෙන්නේ නැත්නම් අපේ රටේ ආර්ථික නිදහස නැති වෙනවා. රටේ ආර්ථික නිදහස නැති වුණොත් දේශපාලන නිදහසින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අද ලෝකයේ සිටින ආර්ථික බලවතුන්ට අපට යටත්වෙන්න බැහැ. එසේ නම් අපේ පළමු කටයුත්ත විය යුත්තේ මේ ආර්ථිකය ගොඩනඟා ජනතාව ජීවත් කරවීමයි. ඒ වගේම ඔවුන්ගේ අහිමිවූ ආදායම් මාර්ග නැවත උදා කර දිය යුතුයි.

අද බොහෝ දෙනෙක් දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. ඒ පිළිබඳ අවබෝධයක් මට තිබෙනවා. ඇතැම් රාජ්‍ය සේවකයන්ට ණයත් ලබාගෙන, බදුත් ගෙවීමට සිදු වීම නිසා ආදායමක් නැති තත්ත්වයකට මුහුණ දී සිටිනවා. අපි සියලුදෙනා මේ පීඩනය දරා ගන්නවා. අපට මේ පීඩනය නැති කරගන්න පුළුවන්.

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය අද මාව මුණගැසුණා. අපි ගෙන යන මෙම ආර්ථික වැඩපිළිවෙළට ඇමරිකා රජයේ පුර්ණ සහය ලබාදෙන බවට වූ ඇමරිකා ජනාධිපතිවරයාගේ පණිවිඩය එතුමිය මා සමඟ ප්‍රකාශ කළා. මේ විදියට රටවල් ගණනාවක සහාය අපට හිමි වී තිබෙනවා.

මම විශ්වාස කරනවා එළැඹෙන මාස දෙක, තුන තුළ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ඉන්දියාව සහ චීනය සමග පැවැත්වෙන සාච්ඡා අවසන් අදියරේ පවතිනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ එකඟත්වය අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබීමත් සමග එය ලෝකය පිළිගන්නවා.

මේ වසර අවසන් වන විට අපට මෙයට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් ලැබෙයි කියා මම විශ්වාස කරනවා. ඒ සමගම රාජ්‍ය සේවකයින් සියලුදෙනාට යම් සහනයක් ලබාදීමට අපිට අවස්ථාව ලැබෙනවා. අපි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. එයින් ඉවත්වීමට අපට හැකියාවක් නැහැ. අපි නිවැරදි මාවතක ගමන් කරනවා නම් උපක්‍රමශීලිව කටයුතු කළයුතුයි. ජයග්‍රහණය උදාකරගත හැකිවන්නේ එවිටයි.

ත්‍රස්තවාදී යුද්ධය සහ ආර්ථික යුද්ධය අතර ඇත්තේ එක් වෙනසක් පමණයි. එදා ජීවිත නැති වුණා. අද ආදායම් නැතිවෙලා. ඒ වෙනස පමණයි තිබෙන්නේ. නැති වූ ජීවිත අපට නැවත ගෙන දිය නොහැකියි. නමුත් අඩු වූ අදායම නැවත ලබාගත හැකියි. ආණ්ඩුවක් ලෙස අපි සියුලදෙනා කැප වී සිටින්නේ ඒ වැඩපිළිවෙළ සඳහායි.

අප එදා දිනාගත් දේශපාලන නිදහස සහ එදා ආරක්ෂා කළ භෞමික අඛණ්ඩතාව සමග ආර්ථික නිදහසත් උදා කර ගනිමින් අපට ඉදිරියට යා හැකි බව මම විශ්වාස කරනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති වයිස් එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ , නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරු ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

තමිල්නාඩුවට පනින්න හැදූ ලාංකිකයන්

Published

on

By

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සමත් වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකා වෙරළට ආසන්නව පිහිටා ඇති දේශසීමා සහ නීතිවිරෝධී ක්‍රියා නිරන්තර සිදුවන ධනුෂ්කොඩි අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

ඊයේ (28) දිනයේදී  ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුට ගත් තිදෙනාගෙන් දෙදෙනෙකු සිංහල ජාතිකයින් බවත් එක් අයෙකු දෙමළ ජාතිකයෙකු බවද වාර්තා වේ.

ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු මත්ද්‍රව්‍ය සම්බන්ධව නඩුවකදී අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අයෙකු බවත් අනෙක් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධ වාර්තා ඇති අය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම තිදෙනා රුපියල් ලක්ෂ 02 බැගින් ගෙවා සිකුරාදා රාත්‍රීයේදී මෙරටින් පිටත්වී ඇති අතර ඔවුන් අලුයම 04 වන විට තමිල්නාඩුව වෙත පැමිණ වෙනත් රටකට පළා යාමට සැලසුම් කර තිබූ බවත් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා මණ්ඩපම් හී රාජ්‍ය සමුද්‍ර පොලීසිය වෙත භාර දී ඇතැයිද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Continue Reading

පුවත්

ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා

Published

on

By

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වූ විශාලතම විදේශ සෘජු ආයෝජනය (FDI) වන හම්බන්තොට සිනොපෙක් හි ඩොලර් බිලියන 3.7 ක ආයෝජන ව්‍යාපෘතියට ගිවිසුම්ගතව මාස හයක් ගතවී ඇතත් තවමත් අවිනිශ්චිතව පවතින බව වාර්තා වේ.

මෙම වසර මුලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බීජිං වෙත කළ රාජ්‍ය සංචාරයේදී ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රමුඛ චීන ජාත්‍යන්තර ඛනිජ තෙල් සංස්ථාවක් වන සිනොපෙක් අතර මෙම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම අත්සන් කරන ලදී.

මෙම ඩොලර් බිලියන 3.7 ක ආයෝජනය යටතේ බැරල් 200,000 ක ධාරිතාවයකින් යුත් අති නවීන තෙල් පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීමට නියමිතය. 

පිරිපහදුවේ නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් අපනයනය සඳහා සැලසුම් කර ඇති අතර එමඟින් ජාතියේ විදේශ විනිමය ඉපැයීම් තවදුරටත් ඉහළ නංවයි. 

චීනයෙන් ලැබෙන මෙම ප්‍රධාන ආයෝජනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ශක්තිමත් කරන අතරම හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නංවාලීමට අපේක්ෂා කෙරේ. 

එපමණක් නොව, මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ නුදුරු අනාගතයේ දී සමස්ත ශ්‍රී ලාංකික ජනගහනයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කර තිබිණි.

මේ ගැටුම ඇතිව ඇත්තේ ඇත්තේ සිනොපෙක්ට එහි පිරිපහදු කළ නිෂ්පාදන දේශීය වෙළඳ පොළට ඉදිරිපත් කළ හැක්කේ 20%ක් පමණක් ලෙස සම්බාධක පැනවීම නිසා බව පැවසේ.

කෙසේවුවද, සිනොපෙක් සඳහා දේශීය වෙළඳපොළ කොටස පිළිබඳ තවමත් එකඟතාවයක් ඇතිව නොමැති බවද පැවසේ.

මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අනවබෝධ අවසන් කිරීමට සාකච්ඡා සිදුවෙමින් පවතින බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර, ෂැංහයි ජාත්‍යන්තර අධ්‍යයන ආයතනවල දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සහ අධ්‍යක්ෂ මහාචාර්ය ලියු සොන්ගි මීට පෙර පැවසුවේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සිනොපෙක් මෙහි බාධකවලට මුහුණ දෙන බවයි.

මූලාශ්‍රය – ඩේලි මිරර්

සබැඳි පුවත්

හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකරන්න චීනය හා ගිවිසුමක් (වීඩියෝ)

සිනොපෙක් පිරිපහදු ව්‍යාපෘතිය ජුනි සිට වැඩ අල්ලයි

“අනුර ගෙනාපු චීන ආයෝජනය මුලින්ම ගේන්න හැදුවේ මහින්ද”

Continue Reading

පුවත්

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 2ක් අතුරුදහන්

Published

on

By

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් අනතුරකට පත්ව තිබේ.

අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ ධීවර යාත්‍රාවේ ධීවරයින් 6ක් දෙනෙක් සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු දිවි බේරාගෙන ඇත.

ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්වී ඇති අතර ඔවුන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද වාර්ථා වේ.

ඔවුන් ධීවර කටයුතුවල නිරතවී ආපසු එමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර ගල් පරයක හැපී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වේ.

බේරාගත් ධීවරයින් දෙදෙනා මේ වන විට තංගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

පෙර දිනත් ධීවර යාත්‍රා 3ක් අනතුරකට පත්වෙයි

මේ අතර ඊයේ (28) දිනයේද ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්විය.

ඒ අනුව ඊයේ උදෑසන දෙවුන්දර ධීවර වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රාවක් අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් 5 දෙනෙකුගෙන් දෙදෙනෙකු බේරා ගනු ලැබූ අතර තවත් ධීවරයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එක් ධීවරයෙක් තවමත් අතුරුදන්ව තිබේ.

කළුතර බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද අනතුරට පත්වූ අතර එහි සිටි ධීවරයින් දෙදෙනෙකු ඉන් අතුරුදන්ව තිබුණි.

හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක්ද ඊයේ පස්වරුවේ වරාය ආසන්නයේදීම අනතුරට පත්ව තිබුණි.

අනතුරට පත්වන අවස්ථාවේදී ධීවරයින් 6 දෙනෙකු යාත්‍රාවේ සිට ඇති අතර ඔවුන් දිවි බේරා ගැනීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved