දෙහිඕවිට සුසාන භූමිය ඉදිරිපිට හෝටලයක ගරාජයක් තුළ සඟවා තිබූ එකලස් කරන ලද සුඛෝපභෝගී ජිප් රථයක් සමග එම හෝටලයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලද තොරතුරකට අනුව ඊයේ (07) මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී මෝටර් රථ ලියාපදිංචි අංක තහඩු 02 ක්ද සොයාගෙන තිබුණි.
අදාළ ජිප් රථය අංක තහඩු ගලවා තිබූ අතර, හෝටල් හිමිකරුට එම ජිප් රථයේ ලිපි ලේඛන කිසිවක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී නැත.
ඒ අනුව, හෝටල් හිමිකරු සහ අදාළ ජිප් රථය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත්, සැකකරුවන් දෙදෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලදී.
මේ අතර, සමාන ලියාපදිංචි අංක සහිත මෝටර් රථ දෙකක් පසුගියදා වෙන්නප්පුව පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණි.
වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සිය මෝටර් රථයට සමාන අංක ඇති තවත් මෝටර් රථයක් ඇති බවට කළ පැමිණිල්ලක් අනුව අදාල මෝටර් රථ දෙකම පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සදහා හලාවත විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දී තිබේ.