පුවත්

තැපෑලේ අලි හොරකමක් විගණන වාර්තාවෙන් හෙළිවේ

Published

on

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසකට ව්‍යාජ වේලා සටහන් කර අතිකාල දීමනා ලෙස කෝටි 06කට ආසන්න මුදලක් නීති විරෝධීව ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු යන්ත්‍රයක් සවිකර තිබුණද එහි පැමිණීමේ හා පිටවීමේ වේලාවන් සලකා බැලීමකින් තොරව මෙලෙස අතිකාල දීමනා ගෙවා ඇති බවයි පැවසේ.

ඒ අනුව සවස 4.15ට තැපැල් මූලස්ථානයෙන් පිටව ගිය සේවකයන් පිරිසක් රාත්‍රි 7,8,9 සහ 10 දක්වා රාජකාරි කළ බවට සාවද්‍ය ලෙස දක්වා මෙම අතිකාල දීමනා ගෙවා ඇත.

මේ හේතුවෙන් අතිකාල දීමනා ගෙවීම්වල නිවැරදිතාව විගණනයට පරික්ෂා කළ නොහැකි වූ බවද වාර්තාවේ දැක්වෙයි.

මේ අතර රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය යෙදි යුතු බවට සඳහන් වුව ද තැපැල් දෙපාර්තමේන්තුවේ වාහන 123ක රාජ්‍ය ලාංඡනය පින්තාරු කර නොතිබූ බවද විගණන නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව පසුගිය වසරේ දී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ව්‍යාපෘති 347න් ව්‍යාපෘති 178ක් අහෝසි කර ඇතැයිද එකී වාර්තාවේ සඳහන්ය.

එමෙන්ම භාණ්ඩාගාරයෙන් අනුමත කළ නියෝජ්‍ය තැපැල්පති තනතුරු පුරප්පාඩු සම්පූර්ණ වී තිබියදී කිසිදු අනුමැතියකින් තොරව නියෝජ්‍ය තැපැල්පතිවරුන් දෙදෙනෙකු පසුගිය 2022 වසරේ පත් කර ඇතැයිද විගණන නිලධාරීන් පෙන්වා දෙති.

මෙම තොරතුරු සටහන්ව ඇත්තේ තැපැල් දෙපාර්තමේන්තුවේ 2023 වාර්ශික වාර්තාවට ඇතුලත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

Trending

Exit mobile version