පුවත්

“තුයියකොන්ත බ්ලැක් ලිස්ට් කිරීම අනීතිකයි”

Published

on

විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්ත මහතා බ්ලැක් ලිස්ට් කිරීම අනීතික ක්‍රියාවක් බව ජාතික ජන බලවේගය කියා සිටී.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (22) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගය මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

එහිදී ජාතික ජන බලවේගයේ නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටියේ තුයියකොන්ත මහතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අසාදු ලේඛන ගතකර ඇත්තේ නීත්‍යානුකූල ලියවිල්ලක් ලබාදීමකින් තොරව, කැලෑ පත්තරයකින්, වලංගු නැති ලේඛනයකින් බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

“සියලුම රජයේ නිලධාරීන්ට අපි ප්‍රකාශ කර සිටිනවා, ඔබලාද නීතියට යටත්. තමන්ව පාලනය කරන දේශපාලනඥයා සන්තෝස කිරීමට නියෝග, තීන්දු ගන්න ඔබලාට බැහැ. ඒ වගේම රජයේ නිලධාරියෙක් වුවත් අනීතික නියෝග ක්‍රියාත්මක කළොත් ඔහු දඬුවම් විඳිය යුතුමයි. ඔබට තරු කීයක් තිබුණත්, පටි කීයක් ඔබගේ යුනිෆෝම් එකේ තිබුණත් ඔබත් මේ රටේ නීතියට යටත්. යම් හෙයකින් ඔබගේ තනතුර දේශපාලකයන් පිනවීම සඳහා ඔබ භාවිතා කරනවා නම්, එය නීතිමය වරදක්.”

“මෑතක ජාතික ජන බලවේගය විසින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයක් හදන්නට තීන්දු කළා. කිසිදු පක්ෂයකට මෙතෙක් කළ නොහැකි කාර්යයක් මෙවන් හමුදා සාමූහිකයක් ගොඩනඟන එක. මෙය බලවේගයක් ලෙස දිස්ත්‍රික්ක පුරා ගොඩනැගෙමින් තිබෙනවා. මෙයට නායකත්වය සපයන කෙනෙක් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා. ඔහු යහපත් කීර්තිමත් ඉතිහාසයක් ඇති ‘වික්‍රමවීර,’ ‘විභූෂණ’ සම්මානයට පාත්‍ර වුණු මුළු යුද කාලය පුරාම ෆයිටර් පයිලට් කෙනෙක් ලෙස තම ජීවිතය පරදුවට තබා, සතුරාගේ උණ්ඩයන්ට මුහුණ දෙමින් අප ජීවත් වෙන රට අපට අත්පත් කර දුන් අයගෙන් කෙනෙක්. ඔහු කළ කැපවීම් සියල්ල වෙනුවෙන් ඉහළම තනතුරක් වන එයාර් වයිස් මාෂල් තනතුරක් ලබා සියලුම ගරු සම්මාන බුහුමන් මැද්දේ විශ්‍රාම ලබාගත්තා. සතුරාගෙන් බේරාගත් රට නැවත විනාශයට ළඟා වෙනවා දුටු ඔහු රට බේරාගැනීමේ වුවමනාවෙන් විශ්‍රාමික හමුදා සාමූහිකත්වයට දායකත්වය සපයනවා. ඒ ඔහුගේ නිදහස.”

“මේ රටේ සෑම පුද්ගලයෙක්ම නීතියේ විධානයේ ආධිපත්‍යයට යටයි. යමෙකුට දඬුවම් පමුණුවනවා නම් එයට පාදක වූ චෝදනාව කුමද්ද? කරන ලද විමසීම් මොනවාද? සම්පත් තුයියකොන්ත මහතා කැඳවා, හේතු දැක්වීමට අවස්ථාවක් ලබාදුන්නාද? චෝදනාව කුමක්ද කියාවත් ඒ මහතාට දැනුමක් නැහැ. මෙවන් ලිපියක් ඉදිරිපත් කිරීමේදී ඉහළම නිලධාරියෙක් වුවත් එහි සඳහන් කළ යුතුයි “මට ලැබී ඇති අධිකාරී බලය යටතේ, අසවල් වරදට, අසවල් වගන්ති යටතේ ක්‍රියාකරමින් ඔබව බ්ලැක් ලිස්ට් කරමි” කියලා. ඒ ආකාරයෙනුයි නීත්‍යානුකූල ලියවිල්ලක් ඉදිරිපත් කළ යුත්තේ. මේ මහතාව බ්ලැක් ලිස්ට් කර තිබෙන්නේ කැලෑ පත්තරයකින්. වලංගු නැති ලේඛනයකින්.”

“තුයියකොන්ත බ්ලැක් ලිස්ට් කළේ අභ්‍යන්තර පරිපාලනය පවත්වාගෙන යන්න”

මේ අතර, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත මහතා අසාදු ලේඛනගත කිරීමට ගුවන් හමුදාව විසින් ගෙන ඇති තීරණය අභ්‍යන්තර පරිපාලනය පවත්වාගෙන යාමේ අරමුණින් ගත් එකක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ (මාධ්‍ය) ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා කියයි.

ඔහු වැඩිදුරටත් මෙසේද මාධ්‍යට පවසා ඇත.

“ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඕනෑම විශ්‍රාමික නිලධාරියෙකුට ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය හැකියි. නමුත්, මේ කාරණය සම්බන්ධයෙන් තත්ත්වය බෙහෙවින් වෙනස්. මෙම නිලධාරියා ගුවන් හමුදාව ලබා දෙන සියලුම පහසුකම් භුක්ති විඳිනවා. මෙම වරප්‍රසාද පහසු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුට ඕනෑම ගුවන් හමුදා කඳවුරකට ඇතුළු විය හැකියි. ඒ නිසා මේ නිලධාරියා කඳවුරුවලට ඇතුළු වූ පසු අපේ සේවයේ නියුතු සාමාජිකයින්ට බලපෑම් කිරීමට උත්සාහ කළහොත් එය ගුවන් හමුදාවේ අභ්‍යන්තර පරිපාලනයේ ගැටලුවක් ඇති කරනවා.”

Trending

Exit mobile version