Connect with us

පුවත්

තුර්කි අභ්‍යවකාශ ආයතනයකට ත්‍රස්ත ප්‍රහාරයක්

Published

on

තුර්කි රජයට අයත්, අන්කාරා අගනුවර පිහිටි, තුර්කි අභ්‍යවකාශ ආයතනයේ මූලස්ථාන ගොඩනැගිල්ලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ආයුධවලින් සන්නද්ධ ත්‍රස්තවාදීන් දෙදෙනකු අභ්‍යවකාශ ආයතනයට කඩා වැදුණු බවත්, අත් බෝම්බවලින් දමා ගසමින්, ඔවුන් කළ වෙඩි තැබීම්වලින් පස් දෙනකු මියගොස් විසි දෙදෙනකු තුවාල ලැබූ බවත් එහි දැක්වේ.

ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනා තරුණයකු සහ තරුණියක්වීම ද විශේෂිතය. 

ඔවුන් වෙඩි තබමින්, අභ්‍යවකාශ ආයතනයට ඇතුළු වන අයුරු සීසීටීවී ආරක්ෂක කැමරාවල සටහන්ව ඇත. 

එම දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.

මෙම ත්‍රස්ත යුවළ පැමිණ ඇත්තේ කුලී රථයකිනි. 

කුලී රථයේ රියදුරා ද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. 

මියගිය සෙසු පිරිස තුර්කි අභ්‍යවකාශ ආයතනයේ සේවකයන් බව ද පැවැසෙයි. 

ආරක්ෂක අංශ පෙරළා කළ වෙඩි තැබීමෙන් ත්‍රස්ත යුවළ මියගිය බව ද මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රහාරයේ වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් මෙතෙක් බාර ගෙන නොමැති බවද වාර්තා වේ.

කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් තුර්කි ආරක්ෂක අංශ සහ තුර්කි රජය චෝදනා කරන්නේ එය කුර්දි බෙදුම්වාදීන් වන පී.කේ.කේ. සාමාජිකයන්ගේ ත්‍රස්ත ක්‍රියාවක් බවයි.

(ඒ.එෆ්.පී.)

පුවත්

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට එරෙහි පැමිණිල්ල විභාගයට

Published

on

By

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණි.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුණු මඩුල්ල ඉදිරියේ මෙම විභාගය පැවැත්වුණි.

එහිදී මුලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී අරවින්ද ගුණරත්න මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවිය.

මෙහිදී එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ජනාධිපති නීතීඥ සුමන්තිරන් මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රමවේදය අභියෝගයට ලක් කරමින්  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් පවතින බවත් ඊට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝග නිකුත් කළ බවත් සඳහන් කළේය.

ඉකුත් වසරේ අගෝස්තු මස දෙවනදා මෙම අතුරු තහනම් නියෝග නිකුත් කරනු ලැබූ අතර ඉන් පසුව වගඋත්තරකාර ආගමන හා විගමන පාලකවරයා අධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් එම නියෝග ක්‍රියාත්මක කිරීම අපහසු බව දැනුම් දී තිබුණේ යැයිද ඔහු සඳහන් කර සිටියේය.

ඉන් අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සාක්ෂි මෙහෙයවීමෙන් අනතුරුව වග උත්තරකරුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කෙරුණු බවත් ඔහු පැවසීය.

ඉන් අනතුරුව මෙම විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ සාක්ෂිකරුගෙන් ද සාක්ෂි  සටහන් කර ගැනීම සිදුවිය.

වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුකරයට පාදක වන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තිබෙන ලිපිගොනු කීපයක් කැඳවන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ ලිපිගොනු මුද්‍රා තැබූ කවරයක බහා අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට නියම කළේය.

ඉන් අනතුරුව  වැඩිදුර නඩු විභාගයේ ජූලි මස 01 වනදා දක්වා කල් තැබීය.

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව විසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

එම අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මස 25 වනදා ආගමන  විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර ඔහුගේ ඇප ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලී චම්පික රණවක, එම් ඒ සුමන්දිරන් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරු විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබුණි

සබැඳි පුවත්

Continue Reading

පුවත්

උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමක්

Published

on

By

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් සංවිධානය කර තිබේ.

එහිදී,  2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුලසතා දැක්වූ  සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2023/2024 විභාගවලට අදාළව නිකුත් කරන ලද ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් මෙම විශිෂ්ටයන් තෝරා ගනු ලැබ තිබේ.

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහනේ පළමු වැඩසටහන ලෙස 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ උතුරු පළාතේ සිසුන් ඇගයිම 2025 ජූනි 22 වන දින කිලිනොච්චියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දක්ෂතා දැක්වූ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල විශිෂ්ටයින් එහිදී ඇගයීමට ලක්කෙරේ.

මේ අතර සෙසු පළාත්වල වැඩසටහන්ද නුදුරේදීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Continue Reading

පුවත්

අමාත්‍යාංශයකට අයත් වාහන විකිණිමට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.

මෙම වාහන අතරට සුඛෝපභෝගී වාහන 16ක්, අනෙකුත් වාහන 03ක් අයත් සහ අබලි වාහන 03ක් අයත්වන බවද අමාත්‍යංශය පවසයි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පැවසුවේ මෙම ටෙන්ඩරයට සහභාගී වීමට සුදුසුකම් ලබනුයේ ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් වන බවය.

පුරවැසියන් තමන්ගේ හැඳුනුම්පතේ සහතික කළ පිටපතක් සහ සමාගම් හෝ සංවිධාන නම් ලියාපදිංචි සහතිකයේ සහතික කළ පිටපතක් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේදි අමුණා තිබිය යුතුය.

ඒ අනුව මේ සඳහා උනන්දුවක් දක්වන ටෙන්ඩර්කරුවන් 0112186076 දුරකතන අංකයෙන් ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) හෝ ප්‍රවාහන නිලධාරීවරයා අමතා මේ සම්බන්ධව වැඩිදුර විස්තර ලබා ගත හැකි අතර 2025 ජුනි මස 16 දින සිට 2025 ජුලි මස 07 දින දක්වා කාර්යාල දිනයන්හිදී පෙව 10.00 සිට පව 1.00 දක්වා එකී වාහන පරීක්ෂා කර බැලිය හැකි බවද අමාත්‍යංශය එම සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved