Connect with us

පුවත්

තෙල් ලොක්කා කිව්වේ කෙබර?, ඉල්ලා අස්වෙන්න වෙයි?

Published

on

සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු වන ආනන්ද පාලිත මහතා මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් “තෙල් සංස්ථාවේ සභාපතිවරයා පඩිය දෙගුණයකින් වැඩි කරගෙන සහ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂවරු මහජන මුදලින් කජු කනවා” යනුවෙන් පළ කර ඇති පුවත් අසත්‍ය බව කියමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා මාධ්‍යට සිදුකළ බලපෑම නිසා මේ තත්ත්වයේ සත්‍ය අසත්‍යතාවය හෙළිවන තුරු සභාපතිවරයාට තනතුරෙන් ඉල්ලා අස්වන්නැයි ජනපතිවරයාට හිතවත් පාර්ශවවලින් ඉල්ලීම් සිදුකර ඇතැයි වාර්තා වේ.

මේ අතර, ඊයේ (19) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා වෘත්තිය සමිති සහයෝගයෙන් බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව දැන් සිදුකරන්නේ මාධ්‍ය මර්දනය කරමින් මාධ්‍යයට තොරතුරු ලබාදෙන වෘත්තීය සමිති මර්දනය කරමින් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන යන බව පවසා බියවද්දන බවට ද චෝදනා කළේය.

තමන් කිසිවිටකත් අසත්‍ය තොරතුරු මාධ්‍යට නොදුන් බවත් තමන් ප්‍රකාශ කළ සියලුම තොරතුරු සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බව ද ඔහු එහිදී කියා සිටියේය.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව බලයට පත්වුයේ විවේචනයන් සියල්ලටම ඇහුම්කන් දෙන බවත් මාධ්‍යට අවශ්‍ය නිදහස ලබාදෙන බවත් පවසා වුවත් දැන් සිදුවන්නේ ආණ්ඩුවේ කිසිවකුට හෝ විරුද්ධව යමක් ප්‍රකාශ කළහොත් එය ප්‍රකාශ කරන තැනැත්තා මෙන්ම එය පළ කරන මාධ්‍යත් නීතිය හමුවට ගෙන ඒම බවය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මෙසේද පැවැසුවේය.

පාලිත මහතා වැඩිදුරටත් මෙසේද කීය.

‘18 වනිදා ‘අරුණ’ පත්තරේ මුල් පිටුවේ පළ වුණා තෙල් සංස්ථාවේ සභාපතිවරයා පඩිය දෙගුණයකින් වැඩි කරගෙන කියල පුවතක් සහ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂවරු මහජන මුදලින් කජු කනවා කියලා පුවතක් පළ වෙලා තිබුණා. 

මේක දැකපු ගමන් තෙල් සංස්ථාවේ සභාපතිවරයා රාජකරුණා සහෝදරයා මෙම පුවත්පත වාර්තා කරලා තියෙන කරුණු අසත්‍යයි කියලා නිවේදනයක් නිකුත් කරලා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාත් ඒ නිවේදනයම උපුටා දක්වලා සියලුම මාධ්‍ය වෙත දැනුම් දෙනවා ඒක පළ කරන්න කියල.”

” සාමාන්‍ය ක්‍රමය නම් මෙහෙම පුවතක් පළ වුණාම ඒ පැත්තෙන් කියන්න ඕනේ මෙන්න මේ මේ කරුණු වැරදියි කියලා. මම කජු කෑවේ නැහැ කියලා. මම වැටුප් දෙකක් ගත්තේ නැහැ කියලා. මට සහ මගේ බිරිඳට දරුවන්ට සීමාව ඉක්මවලා වෛද්‍ය දීමනා ගත්තේ නැහැ කියලා. මම තිබුණ වැටුපට වැඩිය වැටුප් ගත්තේ නැහැ කියලා සභාපතිවරයා කියන්න ඕනේ. එහෙම කිව්වා නම් මාධ්‍යට පුළුවන් නිවැරැදි කිරීමක් ලෙස එය පළ කරන්න. එහෙම නැතුව අසත්‍ය කිව්වට වැඩක් නැහැනේ. මේ යන්නේ මර්දනයක්. වත්මන් ආණ්ඩුවට බලයට එන්න සහය දුන්නේ වෘත්තිය සමිති. ඒ සමිතිවලට තොරතුරු දෙන්නේ රජයේ නිලධාරින් පුද්ගලික සමාගම්වල අය නෙමේ. තෙල් සංස්ථාවේ විදුලිබල මණ්ඩලයේ වරායේ හිටපු රටට ආදරය කරපු නිලධාරින් තමයි මේ ආණ්ඩුවට තොරතුරු දුන්නේ. දැන් ආණ්ඩුව බලයට ඇවිල්ල කරන්නේ ඒ තොරතුරු දුන්න අයව මර්දනය කරන එක. සී අයිඩී එකට ගෙනියන්න හදන එක.”

මේ කතාව ජනාධිපති ලේකම් කාර්යාලයත් දන්නවා…

“ඉකුත් දෙසැම්බර් හයවැනිදා මම ගියා ජනාධිපති ලේකම් කාර්යාලයට ජනාධිපතිවරයා කාර්ය බහුල නිසා මට හමුවෙන්න පුළුවන් වුණේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා. එහිදී මම පැහැදිලිවම කිව්වා ඔවුන් මේ තෙල් සංස්ථාවට පත්කරලා තියෙන සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ විශාල ගැටලු තියෙන බව. ඉන් පස්සේ ඔවුන් ඒ වෙලාවෙම දුරකථන ඇමතුමක් දුන්න ජනාධිපතිවරයාගේ නීති උපදේශිකාවකට එවිට ඇය කියලා තියනවා ඒ මම කියපු කරුණු ඔක්කොම සම්බන්ධයෙන් දත්ත තියනවා ඒවා සත්‍යයි කියලා. මම ඇහුවා ඇයි එහෙනම් ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ කියලා. තව කරුණු හොයනවා කිව්වා. එතකොට ඔහු කිව්වා ජනාධිපතිවරයා හවස හමුවෙනවා. මම කියන්නම් ඒ ඔක්කොම කියලා. නමුත් කියලා නැහැ. මම ඉන් පස්සේ මාධ්‍ය හමුවක් පවත්වලත් මේ ගැන කිව්වා එත් වැඩක් වුණේ නැහැ.”

“ජනාධිපතිවරයාට මේ කරුණු යොමුනොවන්නේ රටේ ජනතාවගේ අභාග්‍යයට. නමුත් ‘අරුණ’ පුවත්පත මෙය වාර්තා කළා. එය ඉන් පස්සේ අනෙක් නාළිකාත් වාර්තා කළා. ඒකෙන් පස්සේ තමයි මේ ගැන අවධානය ආවේ. දැන් එනවා මර්දනය. මේක වාර්තා කරපු එකට තමයි මේ මර්දනය එන්නේ. දැන් මගේ ෆයිල් එකක් අරගෙන ගිහිල්ල කියනවා මන් දන්නේ නැහැ මොකක්ද ෆයිල් එක කියල. නමුත් මම හොරකම් කරලා දුෂණය වංචා කරපු කෙනෙක් නෙමේ ඕනේ එකක් හෙළි කරගන්න මට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. සියලුම දත්ත ලේඛන මම කියපු දෙවල් මට ඔප්පු කරලා පෙන්වන්න තියනවා. ජනාධිපතිවරයනේ මේ සභාපතිවරයාව පත්කළේ.”

“ඉන්ධන මිල අඩු නොකර සේවකයන්ට බෝනස් දෙන්නේ නැතුව සැප විඳින සංස්ථාවේ නිලධාරින් ගැන තමයි මම හෙළි කළේ. මේ රටේ මිනිස්සු ඇත්ත දැනගන්න ඕනේ. මම කියන්නේ එන්න විවාදයකට සභාපතිවරයා උත්තර දෙන්න. මට ඔහු එක්ක තරහක් නැහැ. ඔහුගේ වැඩපිළිවෙළ එක්කයි ගැටලුවක් තියෙන්නේ. මම කියන්නේ සභාපතිවරයා ආණ්ඩුවට හිතවත් නම් විශේෂ දීමනා ගන්නේ නැතුව. ඔහුට හිමි දේ විතරක් ගන්න එක ඔහු කරන්න ඕනේ. මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිගෙන් ඔබටත් වුවමනා තියනවනම් මාව සිරගත කරන්න. නමුත් සංස්ථාවේ තියෙන සීසීටිවී මකන්න දෙන්න එපා. සීසීටීවීවලින් බලාගන්න පුළුවන් වාහන භාවිත කරන්නේ කවුද කියල. CAB අංක 2355 දරණ බෙන්ස් රථය භාවිත කරන්නේ මේ සභාපති දැන්. ඒ වගේම තව සුඛෝපභෝගී වාහන කිහිපයක් ඔහු ප්‍රමුඛ නිලධාරින් භාවිත කරනවා. නමුත් මොවුන් කිව්වේ වාහන එපා කියලයි. සේවකයන් විඳවනවා මෙයාලා සැප විඳිනවා. මම කියන්නේ සභාපති කළ යුත්තේ තොරතුරු හෙළි කරන අයත් වාර්තා කරන මාධ්‍යත් මර්දනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනියනවා කියලා බියවද්දන එක නෙමේ සත්‍ය රටට කියන එක. සත්‍ය හෙළි කිරීම ආණ්ඩුවට අපරාධයක් නම් දඟගෙයි දාන්න එපා මාව එල්ලලා මරන්න.”

සබැඳි පුවත්

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved