Connect with us

පුවත්

තෙල් සංස්ථාවේ මූල්‍ය මට්ටම දැන් ශක්තිමත් වුනත් ප්‍රතිව්‍යුහගත කිරීම නවත්වන්නෑ – කංචන

Published

on

විවිධ පාර්ශව  චෝදනා නැඟුවද පසුගිය ජුනි මාසයේ සිදු කළ විදුලි මිල සංශෝධනයේ දී සමස්ත විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 60ක ප්‍රමාණයෙන්  ලක්ෂ 35කට  55%ක විදුලි මිල සහනයක් ලබාදීමට රජය කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ආගමික ස්ථාන හා කර්මාන්ත අංශයට එම විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට කටයුතු කළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා  නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට  අවශ්‍ය පරිසරය මේ වන විට නිර්මාණය කර තිබෙන බව ද පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් අද (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනි. 

අඛණ්ඩ  ඉන්ධන සැපයුම සඳහා ඛනිජ තෙල් සංස්ථාව ගිවිසුම් ගත වූ සමාගම් දෙකෙන්, එක් සමාගමක පළමු ඉන්ධන නැව මේ මස අවසානයේ මෙරටට පැමිණෙනු ඇති බවත් ඒ සමඟ නව සැපයුම් කරුවන්ගේ  ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන බවත් ඒ මහතා සඳහන් කළේය.

මූල්‍ය අර්බුදයට ලක්ව තිබූ විදුලිබල මණ්ඩලය හා ඛනිජ තෙල් සංස්ථාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන් මේ වන විට මූල්‍ය ස්ථාවරත්වයක් දක්වා වර්ධනය වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය  කංචන විජේසේකර මහතා මෙසේ ද පැවසීය.

පසුගිය වසර වන විට අපේ රටේ ඉන්ධන පෝලිම් තිබුණා වගේම , විදුලි කප්පාදුව ද  වැඩි වශයෙන් සිදු වුණා. එම අභියෝගාත්මක කාලය පසු කරමින් නව රජය යටතේ ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් ඉන්ධන පෝලිම් නැති කිරීමටත්,  අඛණ්ඩව විදුලිය සැපයීමටත් හැකි වුණා. 

දශක දෙක තුනකට වැඩි කාලයක සිට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන, නිෂ්පාදන මිලට අඩුවෙන් අලෙවි කර ඇති බව ඔබ තේරුම් ගත යුතුයි. ඉතින් ඒ සහනාධාර මුදල යටතේ විකුණන විට, පසුගිය වසරේ සැප්තැම්බර් දක්වා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවා. ඒ නිසා ඒ පාඩුවෙන් තමයි අපි දැන් ගොඩ ගන්න ඕන.

පසුගිය ජනවාරි මාසයේ මෙන්ම, ජුනි මාසයේ ද විදුලි මිල සංශෝධනය කිරීමට  කටයුතු කළා. ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 60ක් පමණ සිටිනවා.  ඉන් ඒකක 30 සිට ඒකක 60 දක්වා විදුලි පාරිභෝජනය කරන්නන් ලක්ෂ තිස් පහකට සියයට 55ක මිල අඩු කිරීමක් අවසන් වරට කළ මිල සංශෝධනයේදී සිදු කළා.  ලියාපදිංචි ආගමික සිද්ධස්ථාන 40,000ක් පමණ තිබෙනවා. ඉන් 15,000ක පමණ විදුලිය භාවිතා කරන්නේ ඒකක 30ට අඩුවෙන්. ඒ වගේම කර්මාන්ත අංශයටත් පසුගිය විදුලි මිල සංශෝධනයේදී සහන ලබාදීමට රජයට හැකි වුණා. 

පසුගිය කාලයේ විදුලිබල මණ්ඩලයේ අලාභය රුපියල් බිලියන 409ක් ලෙස වාර්තා වුණා. පසුගිය වසරේ පමණක් එම අලාභය රුපියල් බිලියන 167.2ක් වනවා. පැවති අලාභය නිසා විවිධ අපහසුකම්වලට මුහුණදීමට සිදු වුණා. 

 නමුත් මේ වන විට සැපයුම්කරුවන්ගේ සියලු ගෙවීම් අවසන් කර තිබෙනවා. නව පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට  අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබෙනවා.  විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 120ක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතුව තිබුණත් එය රජය විසින් ශේෂ පත්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. එම නිසා විදුලිබල මණ්ඩලය දැන් මූල්‍ය අතින් ශක්තිමත් තැනකට පැමිණෙමින් තිබෙනවා. පසුගිය වසර  03 තුළ නවතා දමා තිබූ නඩත්තු කටයුතු සහ නව සබඳතා ලබා දීමේ කටයුතු  නැවත ආරම්භ කර තිබෙනවා.  මේ වන විට නව සබඳතා 36,000 සඳහා ඉල්ලුම් කර ඇති අතර ඉන්  20,000 සබඳතා ලබා දී අවසන් කර තිබෙනවා . ඉදිරි මාස දෙක ඇතුළත ඉතිරි සබඳතා ලබාදීමට අපි කටයුතු කරනවා.  

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කිරීමෙ නව කෙටුම්පත මේ වන විට නීති සම්පාදක වෙත යොමු කර තිබෙනවා. එම කෙටුම්පත ලැබීමෙන් පසු එය නීතිපතිට යොමුකර  නිර්දේශ විමසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනතුරුව  පාර්ලිමේන්තුවට යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී නව පනත සම්මත කර ගැනීමට හැකියාව තිබෙනවා.  

මෙහිදී විදුලිබල මණ්ඩලයේ සිටින සේවකයන්ට කිසිදු පීඩනයක් සිදුවෙන්නේ නැහැ. දැනට සේවයේ නියුතු ස්ථිර නොවූ NVQ පාඨමාලා හදාරා ඇති සේවකයින් ස්ථිර කිරීමත් එහිදී අප සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. 

ඛනිජ තෙල් නීතිගත  සංස්ථාව  බොරතෙල්  ආනයන කටයුතු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිටම සිදු සිදුකරමින් තිබුණා.  ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා නව ආයතන දෙකක්  සංස්ථාව සමඟ  ගිවිසුම්ගත වී සිටිනවා.  එම සැපයුම් කටයුතු මෙම  මාසය අවසන් වන විට ආරම්භ කිරීමට කටයුතු කරන බව ඔවුන් දැනුම් දී තිබෙනවා.  ඔවුන්ගේ පළමුවන ඉන්ධන නැව ජුලි  මස අවසානයේදී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔවුන් මේ වන විට  ඉන්ධන හල් 150ක් පමණ ලියාපදිංචි වී අවසන්. 

ඔවුන්ගෙ ඉන්ධන නැව ලංකාවට පැමිණි පසු ඉන්ධන බෙදාහැරීම ‘සිපෙට්කෝ‘ නාමය යටතේ සිදු කළත් එම බෙදාහැරීම් පසුව ඔවුන්ගේ සමාගමේ නාමය යටතේ සිදු වෙනවා. ඉන්ධන බෙදාහැරීම මේ සමාගම් වලට ලබා දෙන විට මුදල් අමාත්‍යංශය මගින් ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 50ක බද්දක් අය කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ හරහා ඉන්දියානු ණය, ඉරාන ණය ගෙවා අවසන් කිරීමටත්, සැපයුම්කරුවන්ට ගෙවීමට තිබෙන ණය කඩිනමින් ගෙවා අවසන් කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙවිය යුතු ණය මුදල් සියල්ල ගෙවා අවසන් කර තිබෙනවා . ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට මූල්‍ය මට්ටමෙන් ශක්තිමත් වී තිබෙන නමුත් එය ප්‍රතිව්‍යුහගත කිරීම අප නවතා දමන්නේ නැහැ. 

ඉන්ධන මිල සංශෝධනය කිරීමේදී තෙල් තොග පවත්වා ගෙන  නොයන ඉන්ධන හල් සඳහා නීතිමය පියවර ගැනීමට  කටයුතු කරනවා. අද උදෑසන රාජගිරිය ඉන්ධන පිරවුම්හල රජයට පවරා ගැනීමට අප කටයුතු කළා. ඉන්ධන මිල සංශෝධනය කිරීමේ දී තෙල් තොග ළඟ තබා නොගත් ඉන්ධන පිරවුම් හල්  120ක් ගැන පැමිණිලි මේ වනවිටත් අපට ලැබී තිබෙනවා. ඒ පිළිබඳවත් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමට  අප බලාපොරොත්තු වෙනවා.  

අමාත්‍යාංශයට සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සිටින සේවකයින් ප්‍රමාණය ප්‍රමාණවත් බැවින් නව සේවකයන් බඳවා නොගැනීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා අගමැතිවරයා සහ රජයේ සාමූහික ගත් තීන්දුවක් මත රාජ්‍ය ආයතන ඵලදායි ලෙස කාර්යක්ෂම කිරීමට සැලසුම් කර තිබෙනවා. 

පසුගිය කාලයේ දී පුනර්ජනනීය බලශක්තිය සඳහා ටෙන්ඩර් කැඳවා තිබූ ආයෝජකයන් මේ වන විටත් පැමිණ නැහැ. සමහර ටෙන්ඩර ලබාගත් ආයතන තවත් ආයතනවලට එම ටෙන්ඩරය විකුණා තිබෙන බව දැනගන්න ලැබී තිබෙනවා. ඒ නිසා පුනර්ජනනීය බලශක්තියට  මෙගාවොට් 500ක් සඳහා ටෙන්ඩර් කැඳවීම ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී අහෝසි කර, නව ටෙන්ඩර් කැඳවීමක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ‘අදානී‘ සමාගමට පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් මෙගාවොට් 500ක බලාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය අවසරය ලබා දීමටත් කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ ජනන කටයුතු  ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඛනිජ තෙල් සංස්ථාව සහ විදුලි විදුලිබල මණ්ඩලය  ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා  එම ආයතනවල සේවක ප්‍රජාවගෙන් බහුතරයක් කැමැත්ත පළ කර තිබෙනවා. වෘත්තීය සමිති නායකයන්ට ලැබෙන වරප්‍රසාද නොලැබී යාමේ බිය  නිසාම ඔවුන් මෙම ක්‍රියාවලියට විරෝධය පළ කරමින් සිටිනවා.  නමුත් පාඩු ලබන ආයතනයක වැටුප් වර්ධක, ප්‍රසාද දීමනා ලබාදීම අනුමත කරන්න බැහැ. ලෝකයේ කිසිම රටක එහෙම සිදු වෙන්නෙත් නැහැ. ඒ ක්‍රමය අපි නවත්වන්න ඕන. විදුලිබල මණ්ඩලයේ 24,000ක් පමණ වූ සේවකයන්ට අවුරුදු තුනකට වරක් 25% ක වැටුප් වර්ධනයක් ලබා දෙනවා. අපි එය නවතා දැමුවා. 

වැටුප් වර්ධක ලබා දෙන්නේ වැඩ කරන, ඵලදායිතාවයක් ඇති සේවකයන්ට පමණයි. සියලුම සේවකයින්ට වැටුප් වර්ධක ලබාදෙන ආයතනයක් ලෝකයේ කිසිම රටක නැහැ.  අප්‍රේල් මාසයේ සහ දෙසැම්බර් මාසයේ ලබාදෙන ප්‍රසාද දීමනා ලබා දෙන්නේ  ආයතනයේ ලාභ ලැබුවොත් පමණයි. එයත් ඵලදායීව වැඩ කරන සේවකයින්ට පමණයි. 

ඒ වගේම ඉන්දියානු ණය ආධාර යටතේ රජයේ ආයතනවලට සහ ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබා දීමට සැලසුම් කර තිබෙනවා.  ඒ අනුව සෑම ආගමික ස්ථානයකටම කිලෝ වොට් පහක සූර්ය පැනලය බැගින් ලබාදීමට  කටයුතු කරනවා. රාජ්‍ය ආයතන සඳහා වහලයේ ප්‍රමාණයට සූර්‍ය පැනල ලබාදීමටත් කටයුතු කරනවා.  මෙම ව්‍යාපෘතිය ඉදිරි මාස දෙක ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. 

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳවත් අවධානය යොමු කර තිබෙනවා. එය 2023 – 2042 ජනන සැලසුමට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉන් ලැබෙන ප්‍රතිඵලය අනුව න්‍යෂ්ටික බලශක්තිය අපේ රටට ලැබිය යුත්තේ කවදාද යන්න තීරණයක් ගෙන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

කෙහෙළියගේ නඩුවට නීතිපතිගෙන් ඉල්ලීමක්

Published

on

By

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අනෙකුත් සැකකරුවන් 11 දෙනාට එරෙහි ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් පිළිබඳ නඩු විභාගය සඳහා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

2018 අංක 9 දරණ අධිකරණ සංවිධාන සංශෝධන පනතේ, 12 වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම ඉල්ලීම සිදුකර ඇති බව සඳහන්ය.

Continue Reading

පුවත්

ලංගම ඩිපෝ 25ක් ගැන තීරණයක්

Published

on

By

තෝරාගත් ඩිපෝ විසිපහක් දියුණු කිරීමට කටයුතු කරනු ලබන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.

ඩිපෝ ප්‍රතිසංවිධානයට අදාළ ව රත්නපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්‍ෂණයකට පසුගියදා (20 ) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

බිමල් රත්නායක මහතා පවසා සිටියේ, ලංගම ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ප්‍රවාහනය මූලික කරගෙන සකස්කළ ව්‍යාපාර සැලැස්මකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක බවය.

“එදා සුළු පිරිසක් හොරකමට දායක වුණා. අනෙක් අය නිහඬව බලා සිටියා. ලොකු ලොකු අය ලොකු ලොකුවට හොරකම් කරන කොට පොඩි පොඩි අය පොඩි පොඩියට හොරකම් කරන්න පුරුදු වුණා. ඇමතිවරයා හොරකම් කරකර ආයතනය විනාශ කරනවා දකින සුලු සේවකයාට කැරකෙන විදුලි පංකාවක් නිවා දමන්න හිතෙන්නේ නෑ.

ලංගම ගොඩනැගීමට රජයක් හැටියට අපි සූදානම්.ඒ සඳහා සියළු තරාතිරම්වල සියළුම සේවක කණ්ඩායම්වල සහයෝගය අවශ්‍ය යි. දැන් තියෙන තත්වයේ හැටියට ලංගම ලාභ හොයන්න කළින් සිද්ධවෙන පාඩු නතර කරගන්න ඕනෑ.ටිකට් කැඩීම සහ ටිකට් මුදල් එකතු කිරීම විධිමත් කළ යුතුයි.ලංගම සේවකයාට තමන්ගේ රැකියාව පිළිබඳ ගරුත්වයක් ඇති කළ යුතුයි”

Continue Reading

පුවත්

CCTV වලින් හසුවූ මාර්ග නීති කැඩූ රියදුරන් 4,000කට දඬුවම්

Published

on

By

කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදුකළ රියදුරන් 4,000කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පවසයි.

අදාළ රියදුරන්ගේ නිවෙස් වෙත එම රථ වාහන වැරදි සම්බන්ධයෙන් දැනුම් දී නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පෙන්වා දෙයි.

පසුගිය වසරේ පෙබරවාරි මස පළමුවන දින සිට කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් රථ වාහන වැරදි හඳුනාගැනීමේ මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව මේ වසරේ අප්‍රේල් මස 20 වනදා දක්වා කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 4,048 දෙනෙකුට එරෙහිව දඩ හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

‍මෙම වැඩසටහන යටතේ නිසි ලෙස අයිතිය පවරා නොමැති රථවාහන 241කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, වාහනයක් විකිණීමේ දී අයිතිය පැවරීම අනිවාර්යෙන් සිදුකළ යුතු බවය.

මේ අතර මේ වසරේ ගත වූ කාල සීමාව තුළ මාරක රිය අනතුරු 724ක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

එම අනතුරුවලින් පුද්ගලයින් 764 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මේ වසරේ ජනවාරි මස පළමුවන දින සිට මේ දක්වා කාලය තුළ බරපතළ අනතුරු 1,535ක් සිදුව ඇති අතර සුළු අනතුරු 2,699ක් සිදුව ඇති බව පොලීසිය පවසයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved