Connect with us

පුවත්

තේ අපනයනකරුවන්ගේ සංගමයෙන් ජනපතිට සුබ පැතුම්

Published

on

මහ මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA)  ඊයේ (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ අලුතින් තේරී පත් වූ රජයට සිය සුබ පැතුම් එක් කර තිබේ.

එම සංගමගේ සභාපති Huzefa Akbarally නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මැතිවරණය සාමකාමීව සහ විනිවිදභාවයෙන් යුතුව පැවැත්වීම ව්‍යාපාරික ප්‍රජාවගේ පැසසුමට ලක් වූ බවය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ නව රජය යටතේ ශ්‍රී ලංකාව නව යුගයක් ආරම්භ කරන බැවින්, සුදුසු ආර්ථික ප්‍රතිපත්ති සහ ඒවා කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් පවතින ආර්ථික අභියෝග ජයගෙන  රට සමෘද්ධිය කරා රැගෙන යාමට සමත් වනු ඇතැයි තේ අපනයනකරුවන්ගේ සංගමය පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන අංශයේ දෙවන විශාලතම විදේශ විනිමය උපයන්නා ලෙස තේ අපනයනකරුවන් 2030 වන විට ඩොලර් බිලියන 25 ක අපනයන ආදායමක් ලබා ගැනීමේ රජයේ ඉලක්කය වෙත උපරිම සහයෝගය සහ සහයෝගය ලබා දීමට කැපවී සිටින බවද එම සංගමය අවධාරණය කරයි.

ඔවුන් තවදුරටත් පවසා ඇත්තේ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති, අනවශ්‍ය රෙගුලාසි ඉවත් කිරීම සහ රජයේ ආර්ථික හා අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා ව්‍යාපාර මත පදනම් වූ බදු ප්‍රතිපත්ති තිබීම අත්‍යවශ්‍ය බවය

ඒ අනුව,   ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවල තරඟකාරීත්වයට සහ දේශීය සැපයුම්කරුවන්ගේ ආදායමට වැට් බද්දේ අහිතකර බලපෑම අවම කිරීම සඳහා සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය හෙවත් SVAT  යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාම  අපනයන කර්මාන්තයේ කාලීන අවශ්‍යතාවයක් වන බවද එම සංගමට පවසයි.

2025 අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක SVAT අහෝසි කිරීමේ යෝජනාව ලංකා තේ සහ 400,000 කට අධික කුඩා තේ වතු හිමියන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල තරඟකාරිත්වයට අහිතකර ලෙස බලපානු ඇති බවද තේ අපනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඔවුන් පවසන්නේ ගෝලීය වෙළෙඳපොළ තුළ ලංකා තේ තරඟකාරීත්වය පවත්වා ගැනීම සඳහා නව රජය මෙම ගැටලුවට හිතකර ලෙස විසඳුම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

2013-2023 කාලය තුළ තේ අස්වැන්න කිලෝග්‍රෑම් මිලියන 340 සිට කිලෝග්‍රෑම් මිලියන 256 දක්වා පහත වැටීම හේතුවෙන් වසර 150 කට අධික ඉතිහාසයක් ඇති “සිලෝන් ටී” ද බරපතළ අභියෝගයකට මුහුණ දී තිබෙන බවද එම සංගමය අවධාරණය කරයි.

2030 වන විට තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2 දක්වා ඉහළ නැංවීම සඳහා නව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා තේ නිෂ්පාදන ගැටලුවට ඵලදායී ලෙස විසඳුම් ලබා දෙනු ඇතැයි  බලාපොරොත්තු වෙන බවද තේ අපනයනකරුවන්ගේ සංගමය සඳහන් කර තිබේ.

පුවත්

ලියාපදිංචි නොකළ හෘද සැත්කම් එන්නත් ගැන සී.අයි.ඩී. පරීක්ෂණ

Published

on

By

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකර ‘බැගේජ්’ මගින් මෙරටට ගෙන්වා හෘද රෝග සැත්කම් සඳහා දෙන පැපරින් නමැති එන්නත වෙළෙඳපොළේ අලෙවි කරන බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ ඖෂධහල් දෙකක උසස් නිලධාරින්ගෙන් ඔවුන් සතුව ඇති අදාළ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සතු ලියකියවිලි පසුගිය සිකුරාදා (04 වැනිදා) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පරීක්ෂා කරනු ලැබීය. එහිදී අදාළ නිලධාරින් වාර්තා කීපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය.

එම ඖෂධහල් දෙකෙන් එකකට මීට පෙර ලියාපදිංචි නොකළ ඖෂධ මෙරට තුළ අලෙවි කිරීම හේතුවෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. පැපරින් එන්නත ලියාපදිංචි නොකර මෙරට තුළ අලෙවි කරන බවට ජාතික සිවිල් බුද්ධි පෙරමුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබිණි.

පැපරින් නම් එන්නත රුපියල් 76,000 ට වෙළෙඳපොළෙහි අලෙවි වන අතර එය රුපියල් 321 කට ලබාගැනීමට හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජයමුනි පසුගියදා අනාවරණය කළත් එම මුදලට මෙතෙක් එම එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාගෙන නොමැත.

මේ අතර දේශීය ඖෂධ නිෂ්පාදකයන්, ඖෂධ ආනයනකරුවන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සමග සාකච්ඡාවක්ද සිකුරාදා (04 වැනිදා) පැවැත්විණි.

එහිදී ද අදාළ ඖෂධ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් ප්‍රකාශ කළේ එන්නත රුපියල් 321 කට ගත හැකි බවයි.

මේ අතර මෙම එන්නත ඇතුළු තවත් එන්නත් හා ඖෂධ ඉන්දියාවේ සිට පැමිණෙන මගීන් සිය ගමන්මලුවල රැගෙන එන බවට තොරතුරු ලැබී ඇති බවද ඖෂද ආනායනකරුවන් මෙහිදී පෙන්වා දී තිබේ.

Continue Reading

පුවත්

විශේෂ මෙහෙයුමකින් 300ක් අත්අඩංගුවට

Published

on

By

කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව එක්ව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.

ඊයේ (04) රාත්‍රිය පුරා මෙම හදිසි විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර මෙම ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇත.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක්‍රියාවලියෙහි එක් පියවරක් වශයෙන් මෙම සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඉදිරියේදී ද මෙවැනි විශේෂ සෝදිසි කිරීමේ දිවයින පුරා සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් එම සෝදිසි කිරීම් සදහා මහජනතාව වශයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත්  මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය  මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

මෙම විශේෂ මෙහෙයුම පිළිබඳ නිවේදනයක් නිකුත්කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය පවසා සිටියේ, නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ප්‍රධාන පියවර කිහිපයක්ම මෙහිදී ක්‍රියාත්මක කළ බවය.

විධිමත් වෘත්තීයභාවයකින් සහ විනය ආරක්ෂා කරගනිමින් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත්, එය මහජනතාවට අවම බාධාවක් සහිතව සිදුකල බවටත් සහතික විය.

දිවයින පුරා තිරසාර සාමය සහ මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා හඳුනාගත් අනෙකුත් ප්‍රදේශවල ද මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරත් දැක්වේ.

———————————————————————–

(පෙර පුවත : 2025 ජුලි 05 පෙ.ව. 11:30)

හදිසියේම පොලීසිය සහ හමුදාව කැඳවා සිදුකළ මෙහෙයුම

ඊයේ (04) රාත්‍රියේ රාගම, කඳාන, සහ වත්තල යන ප්‍රදේශවල හදිසි ආරක්ෂක මෙහෙයුමක් දියත් කර තිබුණි.

යුද හමුදාව, නාවික හමුදාව, විශේෂ කාර්ය බළකාය, සහ පොලීසිය එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

ජූලි 03 වන දින රාගම සහ කඳාන ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාමෙන් පසු, අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත.

ඒ අනුව, මාර්ගවල ගමන් ගත් වාහන සහ පුද්ගලයන් දැඩි පරීක්ෂාවකට ලක් කරමින් සෝදිසි මෙහෙයුම් සිදුකර තිබේ.

සබැඳි පුවත්

ආමි උපුල් වෙඩි තබා ඝාතනය කරලා

කඳාන වෙඩි තැබීම කොණ්ඩ රංජිගේ වැඩක්!

Continue Reading

පුවත්

කතානායක නිල නිවාස දෙකක් සහ වැඩිපුර නිල රථයක් අරන්.

Published

on

By

අල්ලස් කොමිසමට පැමිණිල්ලක්…

නිල නිවාස දෙකක් සහ නිල වාහන දෙකක් වෙනුවට තුනක් භාවිත කිරීම සහ සිය පෞද්ගලික ලේකම් වෙත සපයා තිබෙන පහසුකම් පිළිබඳව චෝදනා කරමින් කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව ඊයේ (04) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දී තිබේ.

නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් මහතා,  මහරගම ආසනයේ වත්තේගෙදර කොට්ඨාස සංවිධායක නිරෝෂ් සෙල්ලහේවා මහතා හා රත්මලාන ආසනයේ පිරිවෙන කොට්ඨාශ සංවිධායක සමන් කුමාර රණතුංග මහතා විසින් අල්ලස් හා දුෂණ කොමිසම් සභාවේ සභාපතිතුමන්ට රාජ්‍ය දේපල අවභාවිතාව හා දූෂණය සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින්  අදාළ පැමිණිල්ල බාරදී තිබේ.

කථානායක වෙත නිල නිවසක් ලබා දී ඇති පසුබිමක කොළඹ 04, ලෝරිස් පටුමඟ, අංක 02 දරන ලිපිනයේ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයේ අංක 8/1 දරන නිවාස 2025 ජනවාරි මාසයේ සිට භාවිත කරන එමගින් පෙන්වා දී තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මහ ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති 14/2025 දරන පරිපාලන චක්‍රලේඛයට අනුව කථානායක වෙත භාවිත කළ හැකි නිල වාහන ගණන දෙකක් එන නමුත් ඔහු නිල වාහන තුනක් භාවිත කරමින් සිටින බව ද පැමිණිල්ලේ දක්වා ඇත.

තවද කථානායකවරයා තමන්ගේ පෞද්ගලික ලේකම්ට ද ලෝරිස් පටුමඟ නිල නිවසේ නවාතැන් දී තිබෙන බවත් ඔහුට ආහාර සැපයීම ද පාර්ලිමේන්තු වියදමින් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත. මේ අතර පෞද්ගලික ලේකම් වෙත නිල වාහන, ඉන්ධන ලබා දී තිබියදී ඔහු ද භාවිත කරන්නේ කථානායකවරයාගේ වාහන බවට ද චෝදනා කර සිටියි.

මේවා පොදු දේපළ පනත යටතේ මෙන්ම දුෂණ විරෝධී පනත යටතේද ගැනෙන වැරදි ලෙස පැමිණිල්ල ගොනු කළ නව ජනතා පෙරමුණ පෙන්වා දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved