තමන් දේශපාලනයෙන් ඉවත් නොවන නමුදු දැන් වයෝවෘධ බැවින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවී දක්ෂ තරුණ පිරිසකට එම අවස්ථාව ලබා දීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේස්වරන් මහතා කියයි.
ඔවුන්ට උපරිමයෙන් තම සහාය ලබා දෙන බවත් විග්නේස්වරන් මහතා පවසයි.
දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටු කරනු ඇතැයි යන විශ්වාසයෙන් උතුරේ ඇතැම් දේශපාලන පක්ෂ දකුණේ දේශපාලකයන්ට සහාය දැක්වුවද දකුණේ දේශපාලකයන් දෙමළ ජනතාවගේ ඉල්ලීම් ඉටුකර නැතැයි ද ඔහු චෝදනා කරයි.
දෙමළ ජනතාව සුළු ජාතියක් සේ නොසලකා සැමට සමාන ලෙස සලකන බවට නව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර එවැන්නක් සිදු වුවහොත් දෙමළ ජනතාවගේ ගැටලු බොහෝ දුරට නිරාකරණය වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.
පසුගිය ජනාධිපතිවරණයේදී ඇතැම් පක්ෂ දෙමළ පොදු අපේක්ෂක අරියනේත්‍රන් මහතාට සහාය නොදී දකුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට සහාය දීමට ගත් තීරණය සම්බන්ධයෙන් දෙමළ ජනතාව තුළ එතරම් පැහැදීමක් නොමැති බවද, අරියනේත්‍රන් මහතා යාපනය දිස්ත්‍රික්කයේ බොහෝ ඡන්ද කොට්ඨාසවල පළමු ස්ථානයට පත්වීමෙන් පැහැදිලි වන්නේ දෙමළ ජනතාව දකුණේ දේශපාලකයන්ට වඩා තමන්ගේ අපේක්ෂකයා කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති බව යැයි ඔහු අවධාරණය කරයි.