පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් කවීන් ජයසේකර මහතාව බම්බලපිටිය ලෙයාර්ඩ් මාවතේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල සිය පෙම්වතිය සමඟ මෝටර් රථයේ කතාබහ කරමින් සිටියදී පාපැදියකින් පැමිණි පුද්ගලයෙකු පිහියක් පෙන්වා ඔවුන් බිය වද්දා රන් මාලය හා මුදල් කොල්ල කා තිබේ.
මොවුන් දෙදෙනා සිටි මෝටර් රථය අසලට ආ පුද්ගලයා මුලින් අතපා මුදල් ඉල්ලා තිබේ.
අනතුරුව ඔහු අසල වූ ගලක් රැගෙන මෝටර් රථයට පහරදීමට උත්සාහ කර ඇති අතර එහිදී අදාළ දයාසිරිගේ පුත්‍රයා තම ගෙලෙහි වූ පවුමක පමණ බර රන් මාලය ගලවා තම මිතුරියගේ අත්බෑගය වෙත දමා තිබේ.
පසුව ඉණෙහි වූ පිහියක් රැගෙන අදාළ පුද්ගලයා ඔවුන්ට තර්ජනය කර මෝටර් රථය තුළ වූ අත්බෑගය රැගෙන ඔහු පැමිණි පාපැදියෙන් පළාගොස් ඇති බව පොලීසිය පවසයි.
අනතුරුව දේශපාලනඥයාගේ පුත්‍රයා සිය මිතුරිය හා මෝටර් රථය එම ස්ථානයෙන් පිටත් කර ඒ පිළිබඳව බම්බලපිටිය පොලිසියට දුරකථනයෙන් අමතා දැනුම් දී තිබේ.
ඒ අතරතුර කොල්ලකරු තම පාපැදියෙන් අසල වූ වෙළෙඳ සැලකට යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක සටහන්ව තිබුණි.
මේ අතර පොලීසිය පැවසුවේ කොල්ලකරු මේවන විට හඳුනාගෙන ඇති අතර ඔහු වැල්ලවත්තේ පදිංචි “රොක්සිවත්තේ රංජි” නම් දැඩිලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ අයෙක් බවය.