පුවත්

දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් හඳුනාගන්නැයි උපදෙස්

Published

on

දරිද්‍රතාවයෙන් පෙළෙන හා සවිබල ගැන්විය යුතු පවුල් හඳුනාගැනීමට කඩිනමින් සමීක්ෂණයක් සිදුකරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.  

ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යාංශය, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව කමිටුවක් පත්කර ඇත.

පසුගියදා මෙම අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වු විට ආර්ථික අර්බුදයේ බලපෑමෙන් පීඩාවිඳින අස්වැසුම ලබන හා නොලබන සියලුම පවුල් සවිබල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරෙන බව පවසා ඇත.

එමෙන්ම ඉදිරි වසර 05 තුළ දරිද්‍රතාවය පිටුදැකීම සඳහා වන සැලැස්මක් වහාම සකසන ලෙසද එම කමිටුව සමෘද්ධි දෙපාර්තමේන්තුවට නියෝග දුන් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසා ඇත.

මේ අතර ග්‍රාමීය ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළෙඳපොළට සම්බන්ධ කිරීම සඳහා “සමෘද්ධි ප්ලස් “නමින් වැඩසටහනක් ආරම්භ කළ බවද රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පවසා ඇත.

Trending

Exit mobile version