පුවත්

දළඳා වන්දනාකරුවන්ට දන්සල් දෙන්න සියලු ආගමිකයන් පෙළගැසෙයි

Published

on

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දන්සල් සංවිධාන කිරීමට බෞද්ධ මෙන්ම ඉස්ලාම්, හින්දු හා කිතුනු භක්තිකයන්ද ඉදිරිපත්ව සිටින බව මහනුවර මහ නගර සභාව පවසයි.

මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පසන් පැරකුම් ජයසිංහ මහතා සඳහන් කලේ වසර 16කට පසු පැවැත්වෙන දළදා වන්දනා කාල සීමාව තුළ දන්සල් සංවිධාන කිරීම සඳහා මේ වන විට සංවිධාන 100ක් පමණ නගර සභාවේ ලියාපදිංචිය ලබා තිබෙන බවය.

තවත් විශාල පිරිසක් ඒ සඳහා ඉල්ලුම් කරමින් සිටින බවත් නගරයේ පවතින ඉඩකඩ සැලකිල්ලට ගනිමින් අදාළ අනුමැතීන් ලබාදීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ඒ මහතා පැවසීය.

දළදා වන්දනාව පැවැත්වෙන 18 සිට 27 දින දක්වා සෑම දිනයකම දළදා මාලිගා පරිශ්‍රය තුළ 30,000 කට ආහාර පාන ලබා දීමට දළදා මාලිගාව සැලසුම් කර තිබේ.

පරිශ්‍රයෙන් පිටත දන්සල් පැවැත්වීම සඳහා මහනුවර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති අතර, ඒ සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කළ හැකි බවත් නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන නිරීක්ෂණයකින් පසු අදාළ අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් තීරණය කරන බවත් වෛද්‍ය ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කලේය.

Trending

Exit mobile version