පුවත්

දාරළුවේ “පඬුකරඳ” ගහ කැපුවේ කැබිනට් අනුමැතියට අනුව!(වීඩියෝ)

Published

on

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ, දාරළුව ප්‍රදේශයේ තිබූ “පඬුකරඳ” ගස ඉවත් කරනු ලැබුවේ තමාගේ පූර්ණ අනුදැනුම ඇතුළුව හා කැබිනට් අනුමැතියකට අනුව බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම ගස ඉවත් නොකළහොත් අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී අමතර රු. බිලියන 15ක වියදමක් දැරීමට සිදුවන බවද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මේ සම්බන්ධයෙන් තමා පුළුල් අධ්‍යයනයක් සිදුකළ බවත්, මේ සම්බන්ධයෙන් ලැබුනු වාර්තා අනුව එම ප්‍රදේශය අවට අවු. 40ට වඩා පැරණි “පඬුකරඳ” ගස් 15ක් තිබෙන බවත්, උඩ අඩි 12 – 15 අතර ගස් 25ක් තිබෙන බවත්ය.

මෙම එක් ගස වෙනුවට ගස් 200ක් පැල කිරීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවද ඔහු මෙහිදී පැවසීය. එබැවින් මේ කරුණු ඉදිරිපත් කළ ගස කපා ඉවත් කිරීමට කැබිනට් තීන්දුවක් ලබාගත් බව ඔහු පවසයි.

ඊයේ දිනයේදී බැකෝ යන්ත්‍රයක් ඇතුලු වාහන කිහිපයක් සහ පිරිසක් පැමිණ  මෙම “පඬුකරඳ” ගස කපා ඉවත් කළ බව දාරළුව ප්‍රදේශවාසීන් පැවසූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

පඬුකරඳ ශාඛය ඉතා දුර්ලභ ගණයේ ශාකයක් බවට පසුගිය කාලයේදී කතා බහට ලක් වූ අතර, 2021 වසරේ දී පරිසර අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කළ ජාතික රතු දත්ත ලේඛණයේ මෙම ශාකය දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ (Critically Endangered – CR) ශාකයක් ලෙස නම් කර ඇති බව පරිසරවේදීන් පවසයි.

ෆේස්බුක් සටහනක් තබමින් පරිසරවේදී සජීව චාමිකර පවසන්නේ “මෙම පඬු කරඳ ශාකය විනාශ කිරීමේ නීති විරෝධී ක්‍රියාවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා අමාත්‍යවරයා සෘජුව වගකිව යුතු,” බවයි.

“වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වන වගන්තිය යටතේ ඇති VIII වන උප ලේඛණයේ පඬු කරඳ ශාකය ආරක්ෂිත ශාකයක් ලෙස ලේඛණ ගත කර ඇත. ඒ අනුව එවැනි ශාකයක් කපා ඉවත් කිරීම ඇතුළු කුමන ආකාරයක හෝ හානි සිදු කිරීමක් නීති විරෝධී ක්‍රියාවකි. එවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වීම පනතේ 67ආ1 උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත් අඩංගුවට ගත හැකි සංඥ්ය වරදක් වේ. එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකුට එරෙහි ව පනතේ 67ඈ1 උප වගන්තියට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ සංඥ්ය වැරදි හා සම්බන්ධ විධි විධාන ක්‍රියාවේ යෙදවිය හැකි ය. එවන් පුද්ගලයකු මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 10,000 ත් 20,000 ත් අතර දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කිරීමේ හැකියාව ඇත. එපමණක් නොව මෙවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට අනුබල ලබා දෙන පුද්ගලයකු ද එම වරදට ම වරදකරුවකු වන බව පනතේ 59 වන වගන්තියේ සඳහන් කර,” ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Trending

Exit mobile version