පුවත්

දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා ලුණු සමාගමේ අධ්‍යක්ෂකලාගේ බෝනස් මගඩිය

Published

on

ලංකා ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනකු රුපියල් එක්ලක්ෂ විසිපන්දහස (125,000) බැගින් ප්‍රසාද දීමනා ලබා ගෙන ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව බව එම සමාගමේ සභාපති නීතීඥ චමින්ද සූරියපටබැඳි මහතා මාධ්‍යට පවසා තිබේ.

ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ රාජ්‍ය ව්‍යාපාර සඳහා පත්කර ඇති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට සේවකයන් සඳහා ලබාදෙන ප්‍රසාද දීමනා සඳහා හිමිකාරිත්වයක් නොමැති බව දන්වා තිබියදී, ලංකා ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පස්දෙනකු රුපියල් එක්ලක්ෂ විසිපන්දහස බැගින් ප්‍රසාද දීමනා ලබාගෙන ඇති බව කියමින් එම සමාගම් සේවකයන් විසින් විරෝධයක් පල කිරීම නිසාය.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පස් දෙනකුට ප්‍රසාද දීමනා ලබාගැනීම උදෙසා කළ ඉල්ලීමේදී රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ.එස්. අතුල කුමාර මහතා දන්වා ඇත්තේ රාජ්‍ය ව්‍යාපාරවලට පත්කරන අධ්‍යක්ෂවරු රාජ්‍ය හිමිකාරිත්වය නියෝජනය කරන බැවින් සේවකයන්ට ලබාදෙන ප්‍රසාද දීමනා සඳහා ඔවුනට හිමිකාරිත්වයක් නොමැති බවයි. 

එමෙන්ම මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ප්‍රසාද දීමනා සම්බන්ධ චක්‍රලේඛයේද රාජ්‍ය ව්‍යවසායන්හි අධ්‍යක්ෂවරුන් වෙත ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන නොමැති බවද දන්වා ඇත.

එහෙත් ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා පවසන්නේ මේ බව දන්වා එවීමට පෙර අධ්‍යක්ෂවරුන්ට ප්‍රසාද දීමනා ලබාදීමේ තීරණය ගෙන ඇති බවයි. 

අධ්‍යක්ෂවරුන් විසින් මෙම දීමනා ලබාගෙන ඇත්තේ යම් ගැටලුවක් මතුවුවහොත් එම මුදල් නැවත ලබා දෙන බවට ලිඛිතව පොරොන්දු වීමෙන් පසුව බවද හෙතෙම පවසා ඇත.

ලංකා ලුණු සමාගම (ලක් ලුණු) රජයේ ආයෝජනයක් වන අතර මේ ආයතනයේ කොටස් අයිතියෙන් වැඩි ප්‍රමාණයක් සේවක භාරකාර අරමුදල සතුය. 

වර්ෂ එක්දහස් නවසිය හතළිහ දක්වා දිවෙන දිගු ඉතිහාසයක් ඇති මෙහි, එතෙක් මෙතෙක් වැඩිම වාර්ෂික ලාභය වශයෙන් රුපියල් මිලියන 915.69ක් ඉකුත් ( 2022) වර්ෂයේදී වාර්තා කළ බවට එහි සභාපතිවරයා පසුගියදා පුරසාරම් ද කියා තිබිණි.

ඉන් මිලියන 213.76ක් ආදායම් බදු වශයෙන් රජයට ගෙවා ඇති බවද වාර්තා වේ.

Trending

Exit mobile version