Connect with us

පුවත්

දිනේෂ්ගේ ඝාතනයට ක්‍රිෂ් පෙරේරාව ප්‍රශ්න කරන්න යයි!

Published

on

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය නිවෙසින් පිටතට යන අවස්ථාවලදී ජංගම දුරකතනයේ තමා සිටින ස්ථානය හඳුනා ගැනීමේ (Location Tracking) පහසුකම සිය බිරිය වන ටානි ෂමින්ට සහ සිය මිතුරා වන ෆැට්රික් ක්‍රිස් පෙරේරාට ඔහුව ඝාතනය වූ දිනට පෙරත් ලබා දී තිබුණේදැයි අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි වාර්තා වේ.

ඊට මුල් වී ඇත්තේ පැය භාගයකින් නැවත නිවෙසට පැමිණෙන්නේ යැයි කියා කොළඹ 07 මල් පාරේ පිහිටි නිවෙසින් පිටත්ව ගිය දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල සුසාන භූමියේ රැඳී සිටින බව බිරිය ටානි ෂමින් සහ ක්‍රිෂ් පෙරේරා හඳුනාගෙන ඇත්තේ ස්ථානය හඳුනා ගැනීමේ (Location Tracking) පහසුකමින් බව පවසා ඇති බැවිනි.

මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් සිය භාරයට ගෙන ඇති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනය වෝහාරික විමර්ශනයකට ලක් කරමින් බිරිය සහ මිතුරාට එම පහසුකම මීට පෙර දී ඇති අවස්ථා ගණන පරීක්ෂා කරමින් ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කරමින් දීර්ඝ ප්‍රකාශ ගෙන ඇතත් මෙතෙක් මෙවැනි ප්‍රශ්න කිරීමකට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මිතුරා වන ක්‍රිෂ් පෙරේරා මහතාව යොමු කර නැත.

අපරාධකරුවන්ට ගොදුරු වී සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල කනත්තෙන් සොයාගෙන කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ක්‍රිෂ් පෙරේරා මහතාය.

ඒ මහතාගෙන් බොරැල්ල පොලිසිය මූලික ප්‍රශ්න කිරීමක් මුල් අවස්ථාවේදී කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඉදිරියේදී ඒ මහතාගෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සිටින්නේ තොරතුරු රැස් කරමිනි.

දිනේෂ් ෂාෆ්ටර් මහතා ක්‍රිකට් විස්තර විචාරකයකු වන බ්‍රයන් තෝමස් මහතා මුණගැසීමට යන බව තමාට පැවසූ බව පොලිසියට පවසා තිබුණේද ක්‍රිෂ් පෙරේරාය.

බ්‍රයන් තෝමස් මහතාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරමින් ඔහුගේ විදෙස් ගමන් තහනමක් පවා ගැනීමට විමර්ශන නිලධාරීන් විසින් පියවර ගන්නේ ඒ අනුවය.

ක්‍රිෂ් පෙරේරා මහතා වත්තල හැඳල පදිංචිකරුවකු වන අතර වසර 19ක් දිනේෂ් ෂාෆ්ටර් මහතා සමීපයේ සේවය කළ අයෙකි. මේ වන විට ඔහුද සමාගම් අධ්‍යක්ෂවරයකු බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ විශ්වාසවන්තම සේවකයකු ලෙස කටයුතු කර ඇති ඔහුගෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතා ඇසුරු කළ පුද්ගලයන් සහ ඔහු ගනුදෙනු කළ අය ගැන බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් ඒ ඔස්සේ ඝාතකයාව පහසුවෙන් හඳුනා ගැනීමට හැකිවනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනුයේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල ප්‍රගතියක් මේ වන විට ඇති බවය. දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරියගෙන් මේ වන විට ප්‍රකාශ ගෙන ඇති බවත් විමර්ශනවලින් පැනනඟින අලුත් කරුණු අනුව ඉදිරියේදීත් ප්‍රකාශ ගනු ඇති බවත් ඔහු පැවසීය. ඒ හැරුණුකොට තව අයගේ ප්‍රකාශ ගැනීමටද පියවර ගනු ඇති බවද ඔහු කීය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කෙරන විමර්ශනයන්ට අදාළව දැනට පුද්ගලයන් 50 දෙනකුගෙන් ප්‍රශ්න කරමින් ප්‍රකාශ ගෙන තිබේ. ප්‍රකාශ 42ක්ම ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම වන අතර ප්‍රකාශ 08ක් ගෙන ඇත්තේ බොරැල්ල පොලිසිය මඟින් බව නිහාල් තල්දූව මහතා පැවසීය.

“තවමත් ඍජුවම සැකකරු මෙයා කියල හඳුනාගෙන නැහැ. සැකයන්ට විවිධ පුද්ගලයන් භාජන වෙනවා. පුළුල් දැක්මක් සහිතවයි විමර්ශන සිදු වෙන්නේ. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විමර්ශන සිදු වෙනවා.“ යැයිද නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

මෙතෙක් නිශ්චිතව අපරාධකරු හඳුනාගෙන නැති බවත් සැකයට ලක් වන අයට එරෙහිව සාක්ෂි ලද වහාම අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිය පොලිසියට පවසා ඇත්තේ ඔහු සිය නිවෙසින් පිටව යන්නේ පැය භාගයකින් නිවෙසට පැමිණෙන බව පවසමිනි. ඒ ගොස් අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්ව සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතා ගමන් කළ මෝටර් රථය පොලිසිය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී කොළඹ 07 මලලසේකර මාවතේ පිහිටි කෙටි ආහාර අලෙවි ස්ථානයකින් ආහාර නිකුත් කිරීමේදී ආහාර බහා දෙන කවරයක් හමු වී ඇත. විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ එම බෑගය දෙදෙනකුට සෑහෙන කෙටි ආහාර බහාලන බෑගයක් බවය.

පැය භාගයකින් නිවෙසට එන බව කියා නිවෙසින් පිටත් වූ ඔහු සිය ගමනාන්තය වූ බොරැල්ල සුසාන භූමිය ආසන්නයේ ස්ථානයකින් දෙදෙනකුට සෑහෙන කෙටි ආහාර වේලක් රැගෙන යෑම කෙරෙහිද විමර්ශකයන්ගේ විශේෂ අවධානයකට යොමු වී තිබේ.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගේ උකුසු ඇස් යොමු වී ඇත්තේ එදා ඔහු කනත්තේදී හමුවීමට ගිය පුද්ගලයා කවුරුන්දැයි කියාය. එම පුද්ගලයාව නිශ්චිත ලෙස සාක්ෂි සහිතව හඳුනා ගත් විට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය තවදුරටත් අබිරහසක් නොවනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන් පැය 24 පුරාම මේ ඝාතන අබිරහස විසඳීමට කැපවී කටයුතු කරන බවය.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved