පුවත්

දින දෙකකදී දස දෙනකු අතුරුදන්

Published

on

වයස අවුරුදු දෙකක දැරියක සහ පාසල් සිසුවියක ඇතුළු පුද්ගලයන් දස දෙනකු පෙරේදා (08) සහ ඊයේ (09) දින දෙකේදී අතුරුදන්ව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙසේ අතුරුදන්ව ඇති අවුරුදු දෙකක් වයසැති දැරිය වැලිපැන්න පත්තිනියාගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. 

අදාළ දැරිය සහ තිස් හැවිරිදි කාන්තාවක වන ඇයගේ මවද ඉකුත් 09 වැනිදා සිට ආගිය අතක් නැති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. 

එම කාන්තාව යූ ටියුබ් නාළිකාවක් පවත්වාගෙන ගිය තැනැත්තියක බවද සඳහන්ය. 

කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 14 වියැති පාසල් සිසුවියක්ද පෙරේදා (09) සිට ආගිය අතක් නැතැයි එම නිවැසියන් කෝපායි පොලිසියට පැමිණිලිකොට තිබේ.

වරකාපොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු මොරටුව ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක්, මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයකු, දඹගල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු, අම්පාර කාර්තිව් ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයකු සහ වව්නතිව් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ධීවර රැකියාවේ නිරත වූ අයකුද අතුරුදන්ව ඇති පිරිසට අයත් වෙයි.

තවද මැදගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයකුද අතුරුදන්ව ඇති අතර ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයකු බව සඳහන්ය.

(අරුණ)

Trending

Exit mobile version