පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය බලශක්තිය තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සූර්ය පැනල සවිකර ඇති බලශක්ති හිමියන්ගෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව හෙට (13) සිට එළැඹෙන අප්‍රේල් 21 වැනිදා තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රීය කරන ලෙස විදුලි බල මණ්ඩලය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා තිබේ.
අවුරුදු සමය තුළ විදුලි ඉල්ලුම අවම මට්ටමකට පහත වැටී ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බලශත්කි දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ලෙස ආතතියක් ඇති කරන බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස පහත වැටී ඇති බවත් ඊට ඉතා සුළු උච්චාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්දි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණිමේ අවදානමක් පවතින බවද විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව මෙම කාල සීමාව තුළදී ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා වහල මත සවි කර ඇති සූර්ය පැනල තාවකාලිකව නවතා දමන ලෙස විදුලි බල මණ්ඩලය සිය නිවේදනය මගින් ඉල්ලා තිබේ.