Connect with us

පුවත්

දියතලාවේ අයිස් ගැහුව හා ගෙනා හමුදාවේ 18ක් හමුදාවෙන් දොට්ට

Published

on

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට පුහුණුවීම් සඳහා පැමිණි කැඩෙට් නිලධාරීන්ට අයිස්, හෂිස් හා ගංජා ආදි මත්ද්‍රව්‍ය අලෙවි කළ පුහුණු උපදේශකයන් හයදෙනකු හා මත්ද්‍රව්‍ය භාවිත කළ කැඩෙට් නිලධාරීන් දහඅට දෙනකු යුද හමුදාවෙන් නෙරපීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ සිදුවී ඇතැයි කියන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිස් පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ආරක්ෂක ලේකම්වරයා යුද හමුදාපතිවරයාට දුන් නියෝගයෙන් පසුව මෙම තීරණය ගෙන ඇත. 

මේ අතර, අදාළ චෝදනාවට ලක්වන කිසිඳු අයෙකුට සමාවක් නොලැබෙන බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මාධ්‍යට පවසා තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් මූලික පරීක්ෂණ උසාවියක් මගින් ලබාගත් සාක්ෂි ලේඛන නිරීක්ෂණය කිරීමෙන් පසුව සෙසු නිල පුහුණු උපදේශකයන් හයදෙනෙකු මත්ද්‍රව්‍ය අලෙවිය හා භාවිතය සිදුකර ඇති බව හෙළි ව ඇතැයි පැවසේ.

මෙම උපදේශකයන් හයදෙනාම සෙසු නිලයන් (ලාන්ස් කෝප්‍රල්, කෝප්‍රල් හා සාමාන්‍ය සෙබළ) වන අතර ඔවුන් ගංජා පානයට ඇබ්බැහි වූවන් බවද මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන් පස් දෙනෙකු ගංජා අලෙවි කර ඇති අතර ඉන් තිදෙනකු අයිස් අලෙවියට, භාවිත කිරීමටද හුරු වී සිටින අය බව වාර්තා වේ.

මේ අතර, එක් උපදේශකයකු ගංජා, අයිස් හා හෂිස් මත්ද්‍රව්‍ය තුනම භාවිත කළ බව හා අලෙවි කළ බව පිළිගෙන ඇත. 

පාඨමාලා අංක 91ට අයත් කැඩෙට් නිලධාරීන් දහඅට දෙනෙකු මෙහිදී හඳුනාගෙන ඇති අතර පහළොස් දෙනෙකු පුහුණු කාලයේදී ගංජා පානය කළ බව පිළිගෙන ඇත. 

හයදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය පානය කළ බව පිළිගෙන තිබේ. 

එක් කැඩෙට් නිලධාරියකු අයිස්, ගංජා හා හෂීස් යන තුනම භාවිත කර ඇත. 

මෙම ජාවාරමට හවුල් වූ බව කියන පුහුණු උපදේශකයකු වන සැරයන්වරයකු විමර්ශන අතරේ හමුදා සේවය අතහැර පලාගොස් තිබේ.

මෙහි උපදේශකවරයකු ලෙස සිටි අයෙකු මීට පෙර පැවැති අංක 89 පාඨමාලිවේදී කැඩෙට් නිලධාරීන්ට මත්පැන් බෝතල් විකුණා හසු වූ අයෙක් බවද පැවසේ.

ඔහු මෙවර සිද්ධියේදී අයිස් හා ගංජා දෙකම විකුණා ඇතැයි හෙළි වී ඇත.

එක් උපදේශකයකු විසින් කැඩෙට් නිලධාරීන්ට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව දැනුවත් කර ඒ සඳහා ඔහු පොළඹවා ඇතැයි හෙළි වී ඇත.

කොට්ටාව හා වැලිමඩ ප්‍රදේශයේ සිට මෙම මත්ද්‍රව්‍ය කඳවුරට රැගෙන විත් ඇති බවද පැවසේ.

කොට්ටාවෙන් රුපියල් දහසක් දී මිලදී ගන්නා අයිස් මත්ද්‍රවය කොටසක් විකුණා ඇත්තේ රුපියල් අටදහසකට බවද වාර්තා වේ.

ගංජා රුපියල් පන්සියේ සිට ඉහළට විකුණා තිබේ.

මෙම ජාවාරමට සම්බන්ධ සෙසු නිල උපදේශකයන්ගෙන් නිලධාරී උපදේශකයකු වන දෙවැනි ලුතිනන්වරයකුද ගංජා හා අයිස් මිලදී ගෙන ඇති බව අනාවරණය වී ඇති අතර ඔහු යුද්ධාධිකරණය හමුවට පැමිණවිමට නිර්දේශ කර ඇත.

නිලධාරී උපදේශකවරුන් වන මේජර්වරුන් පස්දෙනෙකු හා කපිතාන්වරයකු කැඩෙට් නිලධාරීන් නිසි පරිදි අධීක්ෂණ නොකිරීමේ චෝදනාවට සේනා විධායක හමුවට පමුණුවා අවවාද කිරීමට යුද හමුදාපතිවරයා තීරණය කර ඇත.

ඉතා ඉහළ විනයක් ඇතැයි සැලකෙන දියතලාව විද්‍යා පීඨය පවුලේ අයට පවා යාමට ඉඩක් නොමැති බවත් පොලිස් නිෂ්කාශන වාර්තා, බුද්ධි වාර්තා මගින් පවුලේ පසුබිම පවා විපරම් කර බඳවාගත් කැඩෙට් නිලධාරීන් කඳවුර තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නතුවීම ගැන විද්‍යා පීඨයේ සියලු නිලධාරීන් වගකිව යුතු බවත් දෙමාපියෝ චෝදනා කරති.

මූලාශ්‍රය – අරුණ

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved