Connect with us

පුවත්

දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමේ සැලසුමක්

Published

on

ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා නව පාලම් 250ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නෙදර්ලන්ත ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් 2014 – 2024 කාලය තුළදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ග්‍රාමීය පාලම් 750ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් අද (03) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සැමරුම් උළෙල අමතමිනි.

මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ වන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සඳහා රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවට ද එමඟින් ප්‍රතිලාභ හිමිවීම සහතික කළ යුතු බව ද අවධාරණය කළේය.

ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීම රජයේ ආපේක්ෂාව බවත්, එම ඉලක්කය කරා ළගා වීමේ දී ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන මෙවැනි ව්‍යාපෘති ඉතා වැදගත් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් දායකත්වය ලබාදීම පිළිබඳ නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය ද පුද කර සිටියේය.

ජැන්සන් බ්‍රිජිං සමාගමෙහි 10 වන සංවත්සරය සහ එම සමාගම විසින් ශ්‍රී ලංකාවේ පාලම් 750ක ඉදිකිරීම් සාර්ථකව නිම කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝබාක් ( Bonnie Horbach) මහත්මිය වෙත  විශේෂ සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය

“ජැන්සන් බ්‍රිජිං සමාගම විසින් මෙරට ඉදිකරන ලද  පාලම් ප්‍රමාණය 750ක් සම්පූර්ණ වීමේ අවස්ථාව සැමරීමට අද අප එක්ව සිටිනවා. මෙය එම සමාගම විසින්  සාර්ථකව ඉටුකළ දැවැන්ත කාර්යයක් බව කිවයුතුයි. මෙම ග්‍රාමීය පාලම් ඉදිකරන ලද ප්‍රදේශ පිළිබඳ මා දන්නවා. ඒවා ඉදිකර ඇත්තේ ඉතා දුෂ්කර ස්ථානවලයි. 
මෙම පාලම් මඟින් එකිනෙකට සම්බන්ධ කරන ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය කැපවී සිටිනවා.

  
ඒ වගේම මෙම පුළුල් මාර්ග ජාලය මගින් අපට ප්‍රධාන අධිවේගී මාර්ග දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට සහ ඒවා කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගරවලට යැවීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් ව්‍යාපෘතියක් බව සඳහන් කළ යුතුයි. එසේම අපි තවත් මෙවැනි පාලම් 250ක් ඉදිකිරීමට ද බලාපොරොත්තු වෙනවා.

අප රටේ දරිද්‍රතා අනුපාතය 2019 වසරේදී 15%ක් වූ අතර එය මේ වන විට  25% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2032 වසර වන විට එය 10% දක්වා අඩු කර ගැනීම රජයේ අපේක්ෂාව බව කිවයුතුයි.

  
රටේ ආර්ථිකය දියුණු වන විට, ඉතාම දිළිඳු මට්ටමේ ජනතාවටත් එයින් ප්‍රතිලාභ ලැබෙන බව සහතික කළ යුතුව තිබෙනවා. අපගේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් බහුමාන දරිද්‍රතාවය 10% දක්වා අඩු කර ගැනීමයි. එම ඉලක්කය කරා ගමන් කිරීමට මෙවැනි ව්‍යාපෘති අපට උපකාරී වෙනවා. එබැවින් මෙම ව්‍යාපෘති සඳහා දායක වීම පිළිබඳ මම නෙදර්ලන්ත රජයට ස්තුතිවන්ත වෙනවා. උතුරු පළාතේ ජනතාවගේ සෞඛ්‍ය සේවා පුළුල් කරමින් නව රෝහල් 04ක් විවෘත කිරීමට ද නෙදර්ලන්ත තානාපතිනිය පසුගියදා අප සමඟ එක් වුණා.


මෙම ව්‍යාපෘති දෙක මඟින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාව ශක්තිමත් කෙරෙනවා. මම ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මෙම ව්‍යාපෘතිවල වැදගත්කම හඳුනා ගනිමින් ඒවා ඉදිරියට ගෙන යාමට කටයුතු කළා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වගේම ලෙව්කේ දිසාවට අයත්ව පැවති කාලතුවක්කු ද යළි ශ්‍රී ලංකාවට ලබා දීම පිළිබඳ නෙදර්ලන්ත රජයට නැවතත් මගේ ස්තූතිය පුද කරනවා. මෙම කටයුතු සමඟ දෙරට අතර සබඳතා ඉදිරියේ දී ඉතා ශක්තිමත් වනු ඇති බවට ද කිසිදු සැකයක් නැහැ.


අයහපත් කාලගුණය නිසා අපට ගංවතුර තත්ත්වයට මුහුණදීමට සිදුව තිබෙනවා. දැනට ජීවිත ගණනාවක් අහිමි වී තිබෙනවා. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ වශයෙන් විනාශ වූ සියලු නිවාස යළි ඉදිකරදීම ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් සිදු කිරීමට රජය භාරගෙන තිබෙනවා. අර්ධ හානි සිදු වූ ගොඩනැඟිලි පිළිබඳ වාර්තා ලැබීමෙන් පසුව ඊට අදාළ තීරණ ගැනීමට ද බලාපොරොත්තු වෙන බව සඳහන් කළයුතුයි. මීට අදාළව හිදිසි කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් අද සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

  
එමෙන්ම විපතට පත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සියලු සහන සැලසීමට දැනට තිබෙන මුදල් නිදහස් කරන ලෙස මා උපදෙස් දී තිබෙනවා. ඒ වගේම අවශ්‍ය  සියලු ප්‍රතිපාදන පිළිබඳ අදාළ ඇස්තමේන්තු කඩිනමින් සකස් කිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබෙනවා.


2017 වසරේ ඇති වූ ආපාදා තත්ත්වයට මුහුණදීම වෙනුවෙන් එදා රජය රුපියල් බිලියන 170ක් වැයකළා. පසුගිය වසරේ දිස්ත්‍රික් 13ක් ආපදා තත්ත්වයට පත් වුණා. මෙවර ඇතැම් පළාත්වල විශාල හානියක් සිදුව නැහැ. කෙසේ හෝ ආපදා හානි පියවීම වෙනුවෙන් අවශ්‍ය සියලු මුදල් මෙම වසරේත් ලබන වසරේදීත් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා.”

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, නෙදර්ලන්ත නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි ඉවන් රූජන්ස් (Iwan Rutjens), ඇක්සස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා, ෆෝසයිට් ඉංජිනියරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තියෝ ප්‍රනාන්දු, ජැන්සන් බ්‍රිජිං ඉන්ටර්නැෂනල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩර්ක් ෆ්‍රැන්සෙන් (Dirk Fransen) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

උතුරු කොරියාවට සයිබර් ප්‍රහාරයක්

Published

on

By

උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා හදිසියේ බිඳ වැටීමකට ලක්වුණු අතර මේ හේතුවෙන් රජයේ වෙබ් අඩවි සහ නිල ප්‍රවෘත්ති සේවාවන් වෙත ප්‍රවේශයට සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ අන්තර්ජලය සහ තාක්ෂණ යටිතල පහසුකම් නිරීක්ෂණය කරනු ලබන පර්යේෂකයින් යෝජනා කර ඇත්තේ එය සයිබර් ප්‍රහාරයකට වඩා අභ්‍යන්තර ගැටළුවක් විය හැකි බවය.

මෙම අන්තර්ජාල සම්බන්ධතාව ඇනහිටීමත් සමග උතුරු කොරියාවේ ප්‍රධාන නිල ප්‍රවෘත්ති සේවා, විදේශ අමාත්‍යංශය සහ ජාතික ගුවන් සේවය වන එයාර් කොරියෝ ඇතුළු ප්‍රධාන වෙබ් අඩවි ගණනාවක ප්‍රවේශය අවහිර වූ අතර එය එරට වේලාවෙන් දහවල් දක්වා පැවැති බවද වාර්තා වේ.

උතුරු කොරියාව ලොව වඩාත්ම දැඩි ලෙස පාලනය කරන ලද අන්තර්ජාල පද්ධතිවලින් සමන්විත රටක් වන අතර එයට ඕනෑම ආකාරයක මාර්ගගත සන්නිවේදනයකට ප්‍රවේශයද ඇතුළත් වේ.

සාමාන්‍ය ජනතාවට ප්‍රවේශය ඇත්තේ රජය විසින් පිහිටුවන ලද අන්තර් ජාලයකට පමණක් වන අතර එය පුළුල් ගෝලීය ජාලයකට සම්බන්ධ වී නොමැත. 

කෙසේ නමුත් රජයේ සහ ප්‍රභූ කිහිප දෙනෙකුට පමණක් විවෘත අන්තර්ජාල සම්බන්ධතාවක් හිමිව ඇත.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය වසරවලදී සයිබර් ප්‍රහාර හේතුවෙන් ඇතිවූ බවට සැක කෙරෙන විශාල අන්තර්ජාල ඇනහිටීම්ද අත්විඳ ඇති බවය.

Continue Reading

පුවත්

ලංකාවට නො ආ රට හරක්ට ගෙවූ කෝටි 211 නිලධාරීන්ට ගෙවන්න නියෝගයක්

Published

on

By

ග්‍රාමීය ආර්ථික අමාත්‍යාංශය කිරි ගවයන් 15000ක් ආනයනය කිරීමට අදාළව ගෙවන ලද කෝටි 211 ක  මුදලක් අය කරගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් සිදුවූ පාඩුව එම කටයුත්තට දායක වූ සියලු බලධාරීන්ගෙන් අය කරගැනීමට කටයුතු කරන ලෙස  ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

විගණන ප්‍රධානීන් එම නිර්දේශය කර ඇත්තේ කිරි ගවයන් ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කෙරුණු විගණනයට අදාල විශේෂ විගණන වාර්තාවෙනි.

මෙම පාඩුව සඳහා දායක වූ සියලු දෙනාටම දැඩි නීතිමය හා විනය ක්‍රියාමාර්ග ගත යුතු බවටද විගණන ප්‍රධානීන් නිර්දේශ කර ඇත.

කිරි ගවයන් ආනයනයට පෙර ගෙවන ලද රුපියල් කෝටි 175 කට ආසන්න අත්තිකාරම් මුදල සහ ණය මුදලින් කොටසක් සහ  ඊට අදාල පොලිය මෙම මූල්‍ය පාඩුවට  ඇතුළත් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මූලික කාර්යභාරය  ඉටුකිරීමෙන් තොරව සහ විගණන අංශ ලබා දී තිබූ  නිර්දේශ නොතකා හරිමින්  කිරි ගවයන් ආනයනයට මෙසේ අත්තිකාරම් මුදල් නිදහස් කර තිබූ බවත්  එම මුදල් පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වන විටද අය කරගෙන නොතිබූ බවත් වාර්තාවේ දැක්වේ.

කිරි ගවයන් නොගෙන්වා මෙපමණ ඵලදායි නොවන වියදමක් දරා තිබියදී කිරි ගොවීන්ට සහන සැලසීම සඳහා හදිසි අවස්ථා අරමුදලින් රුපියල් කෝටි තිහක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කර තිබූ බවද විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාව දුන් පොරොන්දු ඉටුකරනවාදැයි බලන්න IMF දෙවැනියා ලංකාවට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ මීළඟ රැස්වීමට පෙර විදුලිය මිල වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව පොරොන්දු වූ ගිවිසුමේ කරුණු ඉටුවේදැයි දැනගැනීම පිණිස විශේෂ සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ, ගීතා ගෝපිනාත් මහත්මිය සහ ආසියානු කලාපීය අධ්‍යක්ෂ ක්‍රිෂ් සිරිනිවාසන් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

ගෝපිනාත් මහත්මිය මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

මෙම ඉහළ පෙළේ දූත පිරිස ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡා වට දෙකකට සහභාගි වනු ඇතැයි දැනගන්නට තිබේ.

විදුලිය මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම ඇතුළු මීට පෙර ඇති කරගත් කාර්ය මණ්ඩල එකඟතා ඉටුකිරීම සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ මතය දැනගැනීම ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන අරමුණ බවද සඳහන්ය.

(දේශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved