Connect with us

පුවත්

දුරකථන සංඥා කුළුණු 50ක් හදන්න යයි ; MNP සේවයත් ලබන ජුනි සිට

Published

on

රජයේ ඩිජිටල් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ලබන මාර්තු මස 10 වැනි දින පැවැත්වීමට, ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී තීරණය විය.

ඒ එම කාරක සභාව ඩිජිටල් ආර්ථික අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මේ අවස්ථාව සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාද සහභාගී වී සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කයක් වන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය වේගවත් කිරීම, සමස්ත රටේම සිදුවන පරිවර්තනයක් ලෙස සළකා සියලුම දෙනා කටයුතු කිරීම වැදගත් බව අවධාරණය කළේය.

මෙහිදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ඉදිරියේදී ඩිජිටල් ආර්ථික කටයුතු සිදුවන අංශයන් පිළිබඳව කරුණු ඉදිරිපත් කළහ. එහිදී රාජ්‍ය ඩිජිටල් කරණයේ ප්‍රමුඛයා වන ICTA ආයතනය ඩිජිටල් ආර්ථික අධිකාරිය යටතට පත්කර වඩාත් ඵලදායී ආකාරයෙන් සේවාවන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

තවද රාජ්‍ය ආයතන විසින් විවිධ ආයතන මගින් තමන්ගේ තොරතුරු හා දත්ත රැස්කිරීම වෙනුවෙන් විවිධ පද්ධති නිර්මාණය කර ඇති අතර ඒවා ඉදිරියේදී විධිමත්ව එක් ආයතනයක් ඔස්සේ නිර්මාණය කිරීමේ වැදගත්කමද මන්ත්‍රීවරයන් පෙන්වා දුන්හ. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ එවැනි පද්ධති රාජ්‍ය අධීක්ෂණක සහිතව නිර්මාණය කළ යුතු බවත් දැනට එම පද්ධති නිර්මාණය නොකිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි. එමෙන්ම ඒ ඒ ආයතනවල අවශ්‍යතාව අවබෝධ කරගනිමින්, එම පද්ධති නඩත්තු කරමින් පවත්වාගෙන යාමේ වැදගත්කමද වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම දිවයිනේ යම් යම් ප්‍රදේශවල දුරකථන සංඥා ආවරණයන්ගේ පවතින දුර්වලතා පිළිබඳවද මන්ත්‍රීවරයන් නිලධාරීන්ගේ අවධානයට යොමු කළහ. ඒ අනුව ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ හඳුනාගත් ප්‍රදේශවල නව සංඥා කුළුණු 50ක් ඉදිකිරිමට සැළසුම් කර ඇති බවත් ඒ ඔස්සේ යම් ප්‍රමාණයකින් මෙම දුරකථන සංඥා අවහිරතා අවම කරගැනීමට හැකි වනු ඇති බවත් අමාත්‍යාංශ නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

තවද ජංගම දුරකථන පරිශීලකයින්ට ජංගම දුරකථන ජාල ක්‍රියාකරු වෙනස් කිරීමේදී තමා භාවිතා කල ජංගම දුරකථන අංකයම නැවත ලබාගැනීමේ හැකියාව (MNP සේවය) පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා වූ අතර ඊට පිළිතුරු ලබාදෙමින් නිලධාරීන් පැවසුවේ එම පහසුකම ලබන ජූනි මස සිට ක්‍රියාත්මක වන බවයි.

මෙම සාකච්ඡාවේදී crypto මුදල් භාචිතය පිළිබඳව අදහස් පළවූ අතර ශ්‍රී ලංකාව තුළ එය භාවිතයට අවසර ලබාදෙන්නේද නැද්ද යන්න අවසන් තීරණය මහබැංකු අධිපතිරවරයා විසින් ලබාදෙන නිර්දේශ මත ක්‍රියාත්මක කරන බව ගරු ජනාධිපතිවරයා පැවසුවේය.

මෙම සාකච්ජාවේදී මෙරට පුරවැසියන්ගේ පෞද්ගලික දත්තවල සුරක්ෂිතභාවය වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග, AI තාක්ෂණය ඇතුළු නව තාක්ෂණයන්ට මුහුණ දියයුතු ආකාරය, තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්ගේ වැටුප් යනාදී කරණු පිළිබඳව ද අවධානය යොමුවිය.

පුවත්

මහාචාර්ය මාලනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ඉතිහාස විෂය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අද (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

80 දශකයේ ආරම්භයේ සරසවි දිවියට පිවිසි මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය දශක හතරකට වැඩි කාලයක් ආචාර්ය, මහාචාර්ය තනතුරුවල නිරතවූවාය.

පසුව විශ්ව විද්‍යාලයේ සනාතන සභාව විසින් ප්‍රදානය කරන ලද සේවා සම්මානිත මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ මාලනී ඇඳගම වර්තමානයේ අපේ රටේ ඉතිහාසය අඛණ්ඩව ලියනු ලබන මහාවංශ සම්පාදක මණ්ඩයලයේ ලේකම් තනතුර දරනු ලැබුවාය.

ඉතිහාස විශය ජාතික මට්ටමින් ඉගැන්වීමට ඇපකැපවූ මෙම මහාචාර්යවරිය   ”ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය ” , ”ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය ” ආදී ග්‍රන්ථ රැසක් රටට දායාද කර තිබේ.

Continue Reading

පුවත්

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

Published

on

By

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) ආර්.ඒ.යූ.පී. රාජපක්ෂ මහතාගේ පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව අද දින (30) ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

Continue Reading

පුවත්

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය ක්‍රමයක්

Published

on

By

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2025 යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ ඉලක්කගත කණ්ඩායම් වනුයේ උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රක් ටොන් 25කට යටත්වන සුලු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සපූපකාර සමිති ය.

මුදල් අමාත්‍යාංශය පැවසුවේ මෙම ණය ලබා ගැනීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයකින් ලබා ගත් වලංගු ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් හා වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් සියලු ණය ඉල්ලුම්කරුවන් සතුව පැවතිය යුතු බවය.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ට 07%ක වාර්ෂික පොලී අනුපාතයකට රුපියල් මිලියන 50ක් දක්වා ණය මුදලක් ලබාගත හැකි අතර අදාළ ණය මුදල දින 180ක් තුළ ගෙවා අවසන් කළ යුතු බවද මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම ණය යෝජනා ක්‍රමයේ සහභාගීත්ව මූල්‍ය ආයතන ලෙස පහත සඳහන් බැංකු තෝරාගෙන තිබේ.

• ලංකා බැංකුව
• මහජන බැංකුව
• ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
• හැටන් නැෂනල් බැංකුව
• සෙලාන් බැංකුව
• සම්පත් බැංකුව
• කොමර්ෂල් බැංකුව
• ඩී.එෆ්.සී.සී බැංකුව
• ජාතික සංවර්ධන බැංකුව
• නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
• සණස සංවර්ධන බැංකුව
• අමානා බැංකුව
• කාගීල්ස් බැංකුව
• පෑන් එෂියා බැංකුව

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බැංකු හරහා නිදහස් කිරීමට නියමිත මුළු ණය මුදලේ වටිනාකම රුපියල් මිලියන 6,500ක් පමණ වන අතර ගොවීන්ගේ වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් තහවුරු කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම මිලක් යටතේ වී මිලදී ගැනීමට සැලසුම් කර තිබේ.

2024 දෙසැම්බර් 30 දින අමාත්‍ය මණ්ඩලය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ආරම්භ කෙරෙන මෙම ණයයෝජනා ක්‍රමය 2025 ජූලි මස 01 දින සිට නොවැම්බර් මස 15 දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඊට අමතරව, පසුගිය 2024/25 මහ කන්නයේදී මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 6,850ක පමණ ණය අරමුදල් වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත ලබාදෙන දී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved