Connect with us

පුවත්

දෙදාහේ බෙහෙත හැත්තපන්දාහට විකුණූ සන්ෂයින්ලා තාමත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ

Published

on

රුපියල් දෙදහසකට ආසන්න වටිනාකමකින් යුත් කොන්ට්‍රාස්ට් මීඩියා (Contrast media – CM) නම් ඹෟෂධය සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් 75,628/- ක් වැනි අධික මිලකට අලෙවි කරන ලද සන්ෂයින් හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම (Sunshine Healthcare Lanka Ltd) තවමත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි ආයතනයක් ලෙස ක්‍රියාත්මක බව වාර්තා වේ.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා මේබව පසුගියාදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

අදාළ ඖෂධය එම වසරේදීම (2023) ජී.ඊ. හෙල්ත් කෙයොර් අයිලන්ඩ්ස් (GE Healthcare islands)  සමාගමින් මිලදීගෙන ඇත්තේ එකක් රුපියල් 2025/-කට බවත් ඔහු අනාවරණය කළේය.

එම සමාගමින් කොටස් 34,000ක් එම මුදලට අදාළ සමාගමින් මිලදී ගෙන තිබේ.

කෙසේවුවද, එම ඔසුවම සන්ෂයින් හෝල්ඩිංග්ස් අනුබද්ධිත සන්ෂයින් හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම (Sunshine Healthcare Lanka Ltd) හරහා රුපියල් 75,628/-ක් වැනි අධික මිලකට එම වසරේදීම කොටස් 22,500ක් ලබාගෙන ඇතැයි ද මන්ත්‍රීවරයා කියා සිටී.

එයට වැයකර ඇති මුදල රුපියල් බිලියන 1.7 ක් බව පැවසේ.

තවත් ඖෂධ මගඩියක්..! රු. 2025 ට දෙන ඖෂධය රු. 75,628 ට මිලට අරන්..!

Posted by Headline News on Thursday, March 6, 2025

සන්ෂයින් හෙල්ත්කෙයාර් පුද්ගලික සමාගම හා සහ සම්බන්ධිත සන්ෂයින් හෝල්ඩිංග්ස් සමාගම මෙරට ප්‍රධාන සමාගමක් වන අතර එය රන් කහට, වටවල තේ, හෙල්ත්ගාඩ් ෆාමසි, Daintee හා Zesta tea ඇතුළු මෙරට ජනප්‍රිය ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යනු ලබයි.

සන්ෂයින් හෝල්ඩිංග්ස් සමූහයේ සාමාන්‍යාධිකාරී ලෙස විෂ් ගෝවින්දසාමි මහතා කටයුතු කරන අතර,ශාම් සතාසිවම් මහතා එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි.

අල්ලස් කොමිසම වැඩ පටන්ගනියි……

මේ අතර, වෙළෙඳපොළේ පවතින මිලට වඩා වැඩි මිලට මෙරටට ඖෂධ ගෙන්වන ලද සමාගම් සහ ඒ සඳහා අනුමැතිය ලබාදුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත යටතේ එම විමර්ශනය ආරම්භ කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

2022 සහ 2023 වසරවලදී මෙරටට ඖෂධ මිලදී ගැනීමේදී සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ වෙළෙඳපොළේ පවතින මිලට වඩා වැඩි මුදලකට ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් 2024 ජනවාරි 22 වැනි දින කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම එම විමර්ශනය ආරම්භ කර තිබිණි.

‘‘සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආසියානු සංවර්ධන බැංකුව මගින් ලබාදුන් ණය මුදල් උපයෝගී කරගනිමින් ඖෂධ මිලදීගෙන තිබුණා. එලෙස ඖෂධ මිලදීගෙන ඇත්තේ එවකට වෙළෙඳපොළේ ඖෂධවල පවතින මිලට වඩා වැඩියෙන් බව 2022-2023 වසරවලට අදාළ විගණන වාර්තා මගින්ද කරුණු අනාවරණය කරගෙන තිබුණා. ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් කළා. දීර්ඝ කාලයක් ගොස් එම පැමිණිල්ලට අදාළ විමර්ශන අල්ලස් කොමිසම මගින් දැන් ආරම්භ කර තිබෙනවා’’  විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

‘‘මෙලෙස වැඩි මිලට ඖෂධ ලබාගැනීම හේතුවෙන් රජයට සිදුවූ පාඩුව ගණනය කළ නොහැකි බව විගණන වාර්තාවල සඳහන් වෙනවා. මෙම සිද්ධියට එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි ඉහළ පෙළේ නිලධාරීන්, අදාළ ප්‍රසම්පාදන කටයුතුවලට සම්බන්ධව සිට දැනටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරීන් ඊට වගකිව යුතුයි. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසම වෙත පැමිණිලි කළා’’ යැයි ඔහු වැඩිදුරත් කීය.

පුවත්

ජූලි සිට බස් ගාස්තු 2.5%කින් අඩුකරන්න NTC අනුමැතිය (Update)

Published

on

By

සියයට 2.5කින් බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01දා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු අතර, ඒ අනුව මෙවර ජුලි මස 01 වනදා සිට මෙම සංශෝධනය ක්‍රියාත්මක වනු  ඇත.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණු අතර, 2%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් බස් ගාස්තු සංශෝධනය සිදුකිරීමට ප්‍රවාහන බලධාරීන් සිදු කර ඇති යෝජනාවට බස් සංගම් නියෝජිතයන් සිය අප්‍රසාදය පළ කර තිබුණි.


(පෙර පුවත 2025 ජුනි 25 ප.ව.4:43)

2% බස් ගාස්තු අඩුවට බස් සංගම් වලින් විරෝධය

බස් ගාස්තුව සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (25) බස් සංගම් වෙත දැනුම්දී තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැති අතර එහිදී මේ බව දැනුම්දී ඇත.

ජුලි 01 වනදා සිදුකිරීමට නියමිතට වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර මෙම හමුව සිදුවිය.

කෙසේවෙතත් රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇති බව සඳහන් ය.

යම් ලෙසකින් බස් ගාස්තුව 2%කින් අඩු කළහොත් පළමු සහ දෙවන ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති අතර ඉන් ඉදිරියට පවතින ගාස්තුවල සංශෝධනයක් පමණක් සිදුවෙනු ඇත.

Continue Reading

පුවත්

2025 උසස් පෙළ විභාගයට දින නියම වෙයි

Published

on

By

2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 10 වනදා සිට දෙසැම්බර් 5වන දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, ජුනි මස 26 දින සිට 2025 ජූලි මස 21 වන දින දක්වා මාර්ගගත ක්‍රමය මගින් අයදුම්පත්‍ර කැඳවීම සිදු කරන බවයි.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මගින්ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතුව ඇත.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය,

Continue Reading

පුවත්

දේශබන්දුගේ සාක්ෂිකරුවන් කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදී අවසන්

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සාක්ෂි ලැයිස්තුවේ සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදීම අද (25) අවසන් විය.

වගඋත්තරකාර පොලිස්පතිවරයාද ඇතුළුව ඔහුගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 15 දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිත බව වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා පෙර පැවසුවද, අද දින තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව හෙතෙම කියා සිටියේ අනෙකුත් සාක්ෂිකරුවන් පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂි මෙහෙයවීම සිදු නොකරන බවයි.

මේ නිසා එම සාක්ෂිකරුවන් අද දින පරීක්ෂණ කමිටුව ඉදිරියේ පෙනී සිටි නමුත් ඔවුන්ව මුදාහැරීමට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් රැස්වූ පරීක්ෂණ කමිටුව නිර්දේශ කළේය. 

වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ සාක්ෂි ලැයිතුවේ සාක්ෂිකරුවන් 7 දෙනෙකුගේ සාක්ෂි පමණක් ලබාගෙන වගඋත්තරකරුගේ නඩුව අවසන් කිරීම අද සිදු විය.

රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය පෙර එකඟ වූ පරිදි, 2025 ජූලි 01 දින පෙ.ව. 9.30ට රැස්වී මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරිණි.

දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ විය.

පරීක්ෂණ කමිටුව යළි ජූලි 01 දින රැස්වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved